body-of-ol-student-who-left-home-to-attend-a-conference-found-on-moratuwa-beach

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින්, සම්මන්ත්‍රණයකට සහභාගී වීමට නිවසින් පිටව ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ අතුරුදන් වීම ඛේදනීය අයුරින් නිමාවට පත්ව තිබේ. හොරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ මෙම සිසුවාගේ මළ සිරුර මොරටුව මාදංගාවත්ත වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවූ බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.




මෙසේ මියගොස් ඇත්තේ මියුරු නිම්සර නැමැති සිසුවෙකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, ඔහු ඉකුත් 25 වනදා සිය නිවසින් පිටව ගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වන බව පවසමිනි.

නිවසින් පිටව ගිය සිසුවා යළි නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වෙත අතුරුදන් වීමේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.




මේ අතරතුර, මොරටුව මාදංගාවත්ත වෙරළ තීරයේ තිබී මෙම මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් දැක ඇත. අනතුරුව ඔවුන් 119 හදිසි ඇමතුම් ඒකකය හරහා ඒ බව දැනුම් දීමෙන් පසු මොරටුව මූලස්ථාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

body-of-ol-student-who-left-home-to-attend-a-conference-found-on-moratuwa-beach