anusha-lakmali-the-suspected-child-killer-and-rapist-arrested-in-dubai-returns-to-sri-lanka

පසුගිය පෙබරවාරි මාසයේදී මිද්දෙණිය කඩේවත්ත හන්දිය අසලදී කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පියා සාහසික ලෙස වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකාරියක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් තිබේ.




අනුෂා ලක්මාලි නොහොත් ‘අචිනි’ නමැති මෙම සැකකාරිය කොටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණි. පොලිසිය සඳහන් කළේ එමිර් රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් ඇයව අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙලෙස ශ්‍රී ලංකාවට භාරදීමට කටයුතු කළ බවයි.

මෙම ත්‍රිත්ව ඝාතනය සිදුවූයේ 2025 වසරේ පෙබරවාරි මාසයේදීය. පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් ‘මීගස්ආරේ කජ්ජා’ නමැත්තා සහ ඔහුගේ වයස අවුරුදු 6 සහ 9 ක් වූ කුඩා දරුවන් දෙදෙනා මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූහ.




පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, මෙම අපරාධය රුපියල් ලක්ෂ පහක මුදලකට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට විශ්වාස කෙරේ. එම කොන්ත්‍රාත් මුදලෙන් කොටසක් ඝාතන සැලසුමට සම්බන්ධ සැකකරුවන්ගේ මෙන්ම මෙම සැකකාරියගේ ගිණුම්වලට ලැබී ඇති බවටද වාර්තා වී ඇත.

මෙම සිදුවීමෙන් පසු සැකකාර අනුෂා ලක්මාලි නීතියෙන් ගැලවීම සඳහා රහසිගතව මෙරටින් පලාගොස් තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා සිටි අතර, ඇයව සොයාගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කෙරුණේ ඉන් අනතුරුවය.



දැඩි පරිශ්‍රමයකින් පසු යළි දිවයිනට රැගෙන ආ මෙම සැකකාරිය, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කර ඇති අතර සිද්ධියට අදාළව ඔවුන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතී.