namal---janaki-get-stuck-with-the-testimony-of-aishwarya-soni-who-worked-as-a-director-of-krrish

කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍ර ඉඩම ක්‍රිෂ් සමාගමට බදු දීමේදී රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන නොවැම්බර් 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ 23 නියෝග කළේය.




සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය යටතේ අල්ලස් කොමසාරිස්වරයාගේ සහතිකය අධිකරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබා දීමට සුවිශේෂී කරුණු අවශ්‍ය බවයි. එහෙත් විත්තිය විසින් ඉදිරිපත් කළ කරුණු සුවිශේෂී කරුණු ලෙස පිළිගත නොහැකි බව දන්වමින් මෙම ඇප ඉල්ලීම ඉවත දමන ලදී.

කෙසේ වෙතත්, සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ කොමසාරිස්වරයාගේ සහතිකය සමඟ නඩු පැවරීම දේශපාලන අවශ්‍යතාවක් මත සිදුවන්නක් බවයි. 149 වගන්තිය යටතේ සහතික ඉදිරිපත් කිරීම තෝරා බේරාගෙන සිදු කරන බවත්, ඇතැම් අයට එම සහතික දමන විට තවත් සමහරුන්ට එසේ නොකරන බවත් හෙතෙම වැඩිදුරටත් චෝදනා කළේය.




මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් අධිකරණයට වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කරන ලදී. නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් සමාගමට පවරා ගැනීමට අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබා ගැනීම වෙනුවෙන් අදාළ රුපියල් මිලියන 70ක මුදල අල්ලසක් ලෙස ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. මෙම ගනුදෙනුව සිදුවන සමයේ සමාගමේ ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් වූ අමිත් කටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා මෙන්ම තෙවන හා සිව්වන සැකකරුවන් ලෙස නම් කර ඇති ජානකී සිරිවර්ධන සහ නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත. මෙම රුපියල් මිලියන 70ක අල්ලස් මුදල අවස්ථා තුනකදී පිරිනමා ඇති බව බැංකු වාර්තාවලින් අනාවරණය වී ඇති බවද අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.

විමර්ශනවල නවතම ප්‍රගතිය දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් මීට පෙර සාක්ෂි දීමට බියක් හා මැළිකමක් දැක්වූ ක්‍රිෂ් සමාගමේ හිටපු සේවකයින් කිහිප දෙනෙකුම මේ වන විට කිසිදු බියකින් තොරව කොමිසමට ප්‍රකාශ ලබා දී ඇති බවයි. එලෙස සාක්ෂිකරුවන් දෙදෙනෙකු දැනටමත් ප්‍රකාශ ලබා දී ඇති අතර, ඊට අදාළ සාක්ෂි ලේඛන කිහිපයක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.



වැඩිදුර විමර්ශන හරහා, ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ ඓශ්වර්යා සෝනි නැමැත්තිය මෙම නඩුවේ 06 වැනි සැකකාරිය ලෙස නම් කිරීමටද අල්ලස් කොමිසම පියවර ගෙන ඇත. ක්‍රිෂ් සමාගමේ වාර්තා තුළින් ඒ පිළිබඳව අනාවරණය වී ඇති අතර, ඇය සම්බන්ධයෙන්ද දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය නිකුත් කර තිබේ. මීට අමතරව 04 වැනි සැකකරුගේ අත්අකුරු සාම්පල පරීක්ෂාව සඳහා යොමු කර ඇති බවද අධිකරණයට වාර්තා කෙරිණි.

සිද්ධියට අදාළව මේ වන විට වේල්ලවීදිය කොළඹ 12 ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, ඉදිරියේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, සංචාරක සංවර්ධන අධිකාරිය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ එච්.එස්.බී.සී. බැංකුවෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත. තවදුරටත් ඉදිරි විමර්ශන සිදුවන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටි අතර, ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් නොවැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු කළේය.