රනිල් - මෛත්‍රී පාලන සමයේදී විවිධ වංචා සහ දූෂණ චෝදනා යටතේ පවරා, පසුව දේශපාලන බලපෑම් මත යටපත් කර දැමූ බව කියන ප්‍රධාන පෙළේ නඩු 50ක ලැයිස්තුවක් මේ වන විට යළිත් කරළියට පැමිණ තිබේ. සභානායක, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවට සභාගත කරන ලද මෙම ලැයිස්තුවට දේශපාලනඥයන් විස්සකට අධික පිරිසක්, දේශපාලන පවුල්වල සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් ඇතුළත් ය.
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන මගින් සොයාගත් සාක්ෂි මත මෙම නඩු අතීතයේදී පවරා තිබූ බවයි. කෙසේ වෙතත්, දේශපාලන ඩීල් හරහා කල් දමා ගත් එම නඩු කටයුතු මේ වන විට වේගවත් කර ඇති බවත්, වැරදිකරුවන්ට දඬුවම් හිමිවීම දේශපාලන පළිගැනීමක් ලෙස හුවා දැක්වීමට ඇතැමුන් උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු අනුව, 2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගොනු කර ඇති අදාළ නඩු සඳහා ප්‍රසිද්ධ දේශපාලන චරිත ගණනාවක් චූදිතයින් වී සිටිති. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු (සතොස සේවකයින් දේශපාලන කටයුතුවලට යොදවා රුපියල් මිලියන 40ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් 2016 මැයි 12 ගොනු කළ නඩුව), විමල් වීරවංශ (රුපියල් මිලියන 75.4ක නොනිසි වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් 2017 ඔක්තෝබර් 03 ගොනු කළ නඩුව), මහින්දානන්ද අලුත්ගමගේ (කැරම් බෝඩ් 14ක ගැටලුව සම්බන්ධයෙන් 2016 අගෝස්තු 18 ගොනු කළ නඩුව) සහ බැසිල් රාජපක්ෂ (දිවිනැගුම අරමුදලින් රුපියල් මිලියන 2,991ක් වැය කර ජනාධිපතිවරණ සමයේ ආධාර බෙදීම සම්බන්ධයෙන් 2015 අප්‍රේල් 15 ගොනු කළ නඩුව) යන අය වෙති.
මීට අමතරව රාජිත සේනාරත්න (මෝදර ධීවර වරාය බදු දීමේදී කළ මූල්‍ය පාඩුව), රවි කරුණානායක (2016 මහ බැංකු වෙන්දේසියේදී බිලියන 51.9ක පාඩුව), ප්‍රසන්න රණතුංග (ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් ඉල්ලා තර්ජනය කිරීම), ප්‍රියංකර ජයරත්න, ඒ.එච්.එම්. ෆවුසි, සරණ ගුණවර්ධන, චාමර සම්පත් දසනායක, එස්.එම්. රංජිත් සමරකෝන්, පියසේන ගමගේ, බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ සහ රෝහිත බෝගොල්ලාගම වැනි අය සම්බන්ධයෙන් විවිධ කාල වකවානුවලදී ගොනු කළ නඩු ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රැසකට එරෙහිව ගොනු කළ නඩු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු අනාවරණය කළේය. නාමල් රාජපක්ෂ (ඉන්දියන් ක්‍රිෂ් ව්‍යාපෘතිය - 2016 ජූලි 01), යෝෂිත රාජපක්ෂ (සීඑස්එන් නාලිකාව හරහා මිලියන 234ක් උපයා ගැනීම - 2016 ජනවාරි 30), ගෝඨාභය රාජපක්ෂ (මැදමුලන ස්මාරකය සඳහා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවෙන් රුපියල් මිලියන 33.9ක් ලබා ගැනීම - 2015 සැප්තැම්බර් 08), ශිරන්ති රාජපක්ෂ (සිරිලිය පදනම සහ තාජුඩීන් ඝාතනයට අදාළ ඩිෆෙන්ඩර් රථ භාවිතය - 2015 ජූනි 15), රෝහිත රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ නිරූපමා රාජපක්ෂ යන අයට එරෙහිව පවරා ඇති නඩු ඊට උදාහරණ ලෙස ඔහු පෙන්වා දුන්නේය.
හිටපු අමෙරිකානු තානාපති ජාලිය වික්‍රමසූරිය (ඩොලර් 332,000ක මුදලක් වංචා කිරීම) සහ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබූ උදයංග වීරතුංග මෙන්ම, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සහ පොලිස් නිලධාරීන් වූ ලලිත් වීරතුංග, අනූෂ පැල්පිට, පූජිත ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු, අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, නාලක ද සිල්වා, ජයන්ත වික්‍රමරත්න සහ අනුර සේනානායක යන අයට එරෙහිව පවරා ඇති නඩු පිළිබඳව ද පාර්ලිමේන්තුවේදී අවධානයට ලක් විය.
විමර්ශන අංශ ශක්තිමත් කර අධිකරණය ක්‍රියාත්මක වන බවත්, අතීත පාලකයින් මෙන් තම රජය පළිගැනීම් සිදු නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. අතීතයේදී මෙන් මිනිසුන් බොරුවට අත්අඩංගුවට ගැනීම් හෝ සුදු වෑන් සංස්කෘතියක් අද නොමැති බව ඔහු කියා සිටියේය.
අප්‍රිකාවේ සිංගප්පූරුව ලෙස අද හැඳින්වෙන රුවන්ඩාව සහ 1997න් පසු දකුණු කොරියාව දූෂණයට එරෙහිව කටයුතු කරමින් ලබා ගත් ප්‍රගතිය උදාහරණයට ගත් අමාත්‍ය බිමල් රත්නායක මහතා, නීතිය සැමට ඉහළින් ක්‍රියාත්මක වන ස්වාධීන අධිකරණ පද්ධතියක් හරහා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා ගනිමින් ආයෝජක විශ්වාසය දිනා ගත හැකි බව පෙන්වා දුන්නේය. නීතියේ පාලනය තහවුරු කිරීම හරහා අද වන විට චණ්ඩින් නිහඬ වී ඇති බවත්, දූෂණයට එරෙහිව කටයුතු කිරීම මගින් රටකට පුළුල් ශක්තියක් ලබා ගත හැකි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සභාගත කළ ලැයිස්තුව පහත පරිදිය
1. ජොන්ස්ටන් ප්‍රනාන්දු - සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රු. මිලියන 40ක පමණ අලාභයක් සිදු කළ බවට චෝදනා.
2. විමල් වීරවංශ - නීත්‍යනුකූල ආදායමට වඩා රු. මිලියන 75.4ක් වටිනා වත්කම් සතු බවට චෝදනා.
3. මහින්දානන්ද අලුත්ගමගේ - 2014 ජනාධිපතිවරණ සමයේ කැරම් ලෑලි 14,000ක් බෙදා හැරීමට රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා.
4. බැසිල් රාජපක්ෂ - දිවිනැගුම අරමුදල්වලින් රු. බිලියන 2.991ක් ඡන්ද කටයුතු සඳහා වහල තහඩු බෙදා හැරීමට අවභාවිත කළ බවට චෝදනා.
5. රාජිත සේනාරත්න - මෝදර ධීවර වරාය අවතක්සේරු මිලකට බදු දීමෙන් රජයට මූල්‍ය අලාභයක් සිදු කළ බවට චෝදනා.
6. රවි කරුණානායක - 2016 මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සහ කුලී නොගෙවා සුඛෝපභෝගී නිවාසයක (පෙන්ට්හවුස්) පදිංචිව සිටීම සම්බන්ධ චෝදනා.
7. ප්‍රසන්න රණතුංග - ව්‍යාපාරිකයෙකුගෙන් රු. මිලියන 64ක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වරදකරු කරන ලදී; වසර පහකට අත්හිටුවූ වසර දෙකක සිර දඬුවමක් සහ රු. මිලියන 25ක දඩයක් නියම විය.
8. ප්‍රියංකර ජයරත්න - සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත් රු. මිලියන 9.1ක් අවභාවිත කිරීම සහ නීති විරෝධී පත්වීම් ලබාදීම පිළිබඳ චෝදනා.
9. ඒ.එච්.එම්. ෆවුසි - නෙදර්ලන්තය විසින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලබාදුන් වාහනයක් පෞද්ගලික ප්‍රයෝජනයට ගත් බවට චෝදනා; වරද පිළිගැනීමෙන් පසු වරදකරු කරන ලදී.
10. සරණ ගුණවර්ධන - සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සිටියදී නීති විරෝධී ලෙස වාහන කුලියට ගැනීම සහ රජයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ චෝදනා; වරදකරු කරන ලදී.
11. නාමල් රාජපක්ෂ - ඉන්දියාවේ ක්‍රිෂ් සමූහයෙන් ලැබුණු බව කියන රු. මිලියන 70ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ චෝදනා.
12. යෝෂිත රාජපක්ෂ - කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (CSN) පිහිටුවීමේදී රු. මිලියන 234ක් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන භාවිත කළ බවට චෝදනා.
13. ගෝඨාභය රාජපක්ෂ - ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන සංස්ථාවේ අරමුදල්වලින් රු. මිලියන 33.9ක් භාවිත කළ බවට චෝදනා.
14. ශිරන්ති රාජපක්ෂ - සිරිලිය සවිය පදනම සම්බන්ධ ගනුදෙනු සහ තාජුඩීන් ඝාතන විමර්ශනයට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයක් පිළිබඳ විමර්ශනය.
15. රෝහිත රාජපක්ෂ - සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජයේ මුදල් හා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීමේ චෝදනා.
16. චමල් රාජපක්ෂ - අනුමැතියකින් තොරව වරාය අමාත්‍යාංශ අරමුදල් ව්‍යාපෘති සඳහා වෙන් කළ බවට පැමිණිල්ල.
17. ශෂීන්ද්‍ර රාජපක්ෂ - මහියංගනයේ රජයේ ඉඩම් තම හිතවතුන් අතර නීති විරෝධී ලෙස බෙදා දුන් බවට චෝදනා.
18. ජාලිය වික්‍රමසූරිය - වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී එ.ජ. ඩොලර් 332,000ක් වංචා කළ බවට චෝදනා.
19. උදයංග වීරතුංග - මිග්-27 ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ එ.ජ. ඩොලර් මිලියන 7කට වැඩි මූල්‍ය වංචාවක් පිළිබඳ චෝදනා.
20. නිරුපමා රාජපක්ෂ - පැනමා සහ පැන්ඩෝරා ලිපිගොනු හරහා හඳුනාගත් අක්වෙරළ වත්කම් සහ විදේශ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය.
21. ලලිත් වීරතුංග - 2014 ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාහැරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) අරමුදල්වලින් රු. මිලියන 600ක් භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරු කරන ලදී.
22. අනූෂ පැල්පිට - සිල් රෙදි බෙදාහැරීමේ නඩුවේ TRC අරමුදල් නීති විරෝධී ලෙස භාවිත කළ බවට චෝදනා.
23. පූජිත් ජයසුන්දර - 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා නොකළ බවට චෝදනා.
24. හේමසිරි ප්‍රනාන්දු - පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි බරපතළ ලෙස පැහැර හැරීමේ චෝදනා.
25. අර්ජුන මහේන්ද්‍රන් - 2015 පෙබරවාරි මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී තොරතුරු අයුතු ලෙස හෙළිදරව් කර රජයට අලාභ සිදු කළ බවට චෝදනා.
26. අර්ජුන් ඇලෝසියස් - මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් රජයට මූල්‍ය අලාභ සිදුවන නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවට චෝදනා.
27. කසුන් පලිසේන - මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවල අක්‍රමිකතා සම්බන්ධ කුමන්ත්‍රණයට සම්බන්ධ වූ බවට චෝදනා.
28. නාලක ද සිල්වා - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා.
29. ජයන්ත වික්‍රමරත්න - ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනයට අදාළ පොලිස් තොරතුරු පොතක පිටු විනාශ කළ බවට චෝදනා.
30. අනුර සේනානායක - සාක්ෂි වසන් කිරීම සහ වසීම් තාජුඩීන්ගේ මරණය මාර්ග අනතුරක් ලෙස වැරදි ලෙස වාර්තා කළ බවට චෝදනා.
31. චාමර සම්පත් දසනායක - ඌව පළාත් සභාව යටතේ පාසල් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීමේදී රු. මිලියන 16ක අක්‍රමිකතාවක් සිදු කළ බවට චෝදනා.
32. එස්.එම්. රංජිත් සමරකෝන් - නිල ඉන්ධන දීමනා ලබමින්ම අමතර ඉන්ධන ලබාගත් බවට චෝදනා සම්බන්ධයෙන් වරදකරු කරන ලදී.
33. පියසේන ගමගේ - ආයෝජන මණ්ඩලයේ ඉඩමක් අවතක්සේරු මිලකට පවරා දුන් බවට චෝදනා.
34. බන්දුල ගුණවර්ධන - සතොස හරහා සිදු කළ සහල් ආනයනය මගින් රජයට මූල්‍ය අලාභ සිදු කළ බවට චෝදනා.
35. මහින්ද හෝමාගම - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් ප්‍රවර්ධන කටයුතු සඳහා නීති විරෝධී ලෙස භාවිත කළ බවට චෝදනා.
36. රූපවතී කේතීශ්වරන් - කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ලෙස සිටියදී වියළි ආහාර සලාක සහ රජයේ මුදල් නීති විරෝධී ලෙස බෙදා හැරි බවට චෝදනා.
37. ජයන්ත ප්‍රනාන්දු - පොලිස් රෝහල සඳහා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී රු. මිලියන 15ක් වංචා කළ බවට චෝදනා.
38. ගීතා කුමාරසිංහ - ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තු ධුරය දැරීම සම්බන්ධ නඩු කටයුතු; අධිකරණ තීන්දුව හේතුවෙන් පාර්ලිමේන්තු ආසනය අහිමි විය.
39. රෝහිත බෝගොල්ලාගම - විදේශ කටයුතු අමාත්‍යාංශ අරමුදල් සහ නිල බලය අවභාවිත කළ බවට චෝදනා.
40. කුමාර වෙල්ගම - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට නීති විරෝධී පත්වීමක් මගින් රු. මිලියන 3.2ක අලාභයක් සිදු කළ බවට චෝදනා.
41. වසීම් තාජුඩීන් ඝාතනය - රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සහ සාක්ෂි විනාශ කිරීම පිළිබඳ විමර්ශනය.
42. ලසන්ත වික්‍රමතුංග ඝාතනය - සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයාගේ ඝාතනය සහ සාක්ෂි වසන් කිරීම පිළිබඳ විමර්ශනය.
43. ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම - මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු කටයුතු.
44. ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් - යාපනයේදී ඔවුන් පැහැරගෙන අතුරුදහන් කිරීම පිළිබඳ විමර්ශනය.
45. කීත් නොයාර් - මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන පහර දීම පිළිබඳ විමර්ශනය.
46. උපාලි තෙන්නකෝන් - රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දී ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳ විමර්ශනය.
47. රවීන්ද්‍ර සමරවීර - රජයේ සහල් තොග අඩු මිලට පෞද්ගලික අංශයට විකිණීම සම්බන්ධ අක්‍රමිකතා චෝදනා.
48. විජයදාස රාජපක්ෂ - ඇවන්ට් ගාඩ් විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බලපෑම් කළ බවට පැමිණිල්ල.
49. නිශ්ශංක සේනාධිපති - පෞද්ගලික ආරක්ෂක සමාගමක් හරහා ගිනි අවි හා උණ්ඩ නීති විරෝධී ලෙස සන්තකයේ තබාගැනීම සහ රු. බිලියන 11.4ක පමණ මූල්‍ය අලාභ පිළිබඳ චෝදනා.
50. තිලාන් විජේසිංහ - අනුමත ක්‍රියාපටිපාටිවලින් බාහිරව රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමෙන් අල්ලස් හා දූෂණ විරෝධී නීති උල්ලංඝනය කළ බවට චෝදනා.

