ශිරන්ති රාජපක්ෂ මහත්මියට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදුන් පැහැදිලි නියෝගයක් බන්ධනාගාර නිලධාරීන් විසින් පැහැර හැර ඇති බවට මනෝජ් ගමගේ මහතා චෝදනා කරයි. ඊයේ දිනයේදී ඇයව බන්ධනාගාරගත කරන අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබුණේ, අද දින ඇයව නවලෝක රෝහලේ සිටින ඇයගේ සුපුරුදු අක්ෂි වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසයි.
එහෙත්, එම අධිකරණ නියෝගය නොසලකා හරිමින් බන්ධනාගාර බලධාරීන් අදාළ වෛද්‍යවරයා වෙත ඇයව යොමු කිරීම පැහැර හැර ඇති බව ගමගේ මහතා පෙන්වා දෙයි. රෝගියෙකුගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය මේ වන විට බන්ධනාගාර නිලධාරීන් අතට පත්ව ඇත්දැයි ඔහු ප්‍රශ්න කරන්නේ, මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බව අවධාරණය කරමිනි.
මේ අතර, ශිරන්ති රාජපක්ෂ මහත්මියව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජාතික රෝහලට හෝ අක්ෂි රෝහලට යොමු කරන බවට විවිධ පුවත් වාර්තා මේ වන විට පළ වී තිබේ.
කෙසේ වෙතත්, මනෝජ් ගමගේ මහතා පවසන්නේ අධිකරණයේ සෘජු නියෝගයක් පවතින පසුබිමක් තුළ, එය වෙනස් කිරීමට හෝ පැහැර හැරීමට බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු නෛතික අයිතියක් නොමැති බවත්, මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහගත ක්‍රියාවක් බවත්ය.

