underworld-leader-ran-malli-arrested-in-bulgaria

කාලයක් තිස්සේ ඩුබායි රාජ්‍යයේ සිටිමින් ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවූ බවට සැකකෙරෙන දික්වැල්ලේ පදිංචි චරිත් සඳකැලුම් හෙවත් 'රන් මල්ලි' බල්ගේරියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තහවුරු කළේය.




ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කර තිබූ රතු නිවේදන (Interpol Red Notices) සහ දේශසීමා ආරක්ෂක දත්ත ගබඩාවල තොරතුරු මත පදනම්ව බල්ගේරියානු බලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ජාත්‍යන්තර නීති ක්‍රියාත්මක කරන ආයතනවලින් මිදී ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඔහු මෙලෙස කොටුවී ඇති බව වාර්තා වේ.

මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා උදර්පණ නීති යටතේ සැකකරු යළි ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතී.




මෙරට සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වන සඳකැලුම්, මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’ විසින් මෙහෙයවනු ලබන බව කියන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස විමර්ශකයින් විසින් හඳුනාගෙන තිබේ.

මෙරට මෑත කාලීනව සිදු වූ දැවැන්තම මත්ද්‍රව්‍ය සහ මුදල් විශුද්ධිකරණ විමර්ශන කිහිපයකටම ඔහුගේ නම ඍජුවම සම්බන්ධ වී ඇත. ඉන් ප්‍රධානතම සිදුවීමක් වන්නේ 2025 වසරේ නොවැම්බර් 12 වැනිදා කිරින්ද, අඳගලවැල්ල වෙරළ තීරයේදී රුපියල් මිලියන 300කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ (Crystal methamphetamine) කිලෝග්‍රෑම් 345ක තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීමයි.



බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය, තංගල්ල අපරාධ කොට්ඨාසය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ එම ඒකාබද්ධ මෙහෙයුමේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරු ලෙස පොලිසිය සැක කරන්නේ එකල ඩුබායි හි සිටි සඳකැලුම්වය. අදාළ මත්ද්‍රව්‍ය දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා ඔහු විසින් සැකකරුවන් කිහිප දෙනෙකුට රුපියල් 500,000 බැගින් ලබා දී ඇති බවටද චෝදනා එල්ල වේ. එම සිද්ධියට අදාළව වාහන හයක් සමග සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර විමර්ශන සඳහා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව දින හතක රැඳවුම් භාරයට පත් කරන ලදී.

මීට අමතරව, 2022 වසරේදී හම්බන්තොටට ඔබ්බෙන් වූ මහ රාවණා කොටුව (Great Basses Reef) මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 331ක් අත්අඩංගුවට ගැනීමේ දැවැන්ත ගැඹුරු මුහුදු මත්ද්‍රව්‍ය මෙහෙයුම පිටුපස සිටි මහ මොළකරු ලෙසද බුද්ධි අංශ වාර්තා මගින් සඳකැලුම්ව හඳුනාගෙන තිබේ. එම මෙහෙයුම ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කරන ලද්දකි.

ඔහුගේ අපරාධ ජාලය මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට පමණක් සීමා වී නොතිබිණි. 2021 වසරේ ජූලි මාසයේදී පන්නිපිටිය, කොට්ටාව ප්‍රදේශයේ කුලියට ගත් නිවසක භූමියේ වළදමා තිබියදී සොයාගත් රුපියල් මිලියන 13.9ක මුදල සම්බන්ධයෙන් වන මහා පරිමාණ මුදල් විශුද්ධිකරණ විමර්ශනයේ ප්‍රධාන සැකකරු වන්නේද ඔහුය. මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන මෙම මුදල් ජාලය ශ්‍රී ලංකාව තුළ මෙහෙයවීම සඳහා ඔහු විසින් සිය ඥාති පුත්‍රයෙකු වන දිනේෂ් ලක්මාල් නැමැත්තාට පවරා තිබූ බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු අදාළ නිවස කුලියට ගෙන සිටි ලක්මාල්ව ද අත්අඩංගුවට ගනු ලැබීය.

ජාත්‍යන්තර ආරක්ෂක දැලෙන් රිංගා යාමට 'රන් මල්ලි' දැරූ උත්සාහය මේ වන විට නිමාවට පත්ව ඇති අතර, ඔහුව ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව කිරින්ද අයිස් ජාවාරම, මුදල් විශුද්ධිකරණය සහ ඔහුට එරෙහිව ඇති අනෙකුත් සංවිධානාත්මක අපරාධ චෝදනා සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිතය.