කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ආරක්ෂාව සහ අවධානය මගහරිමින් අද (11) අපූරු සොරකමක් වාර්තා විය. ඒ, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ අංගනයේ ගාල් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන යාමේ සිදුවීමකි.
කෙසේ වෙතත්, මෙම බස් රථ කොල්ලයේ අවසානය සනිටුහන් වූයේ අතුරුදන් වූ බස් රථය පෑලියගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගැනීමත් සමගිනි.වවුනියාව සිට නොච්චියාගම දක්වා ධාවනය කෙරෙන මෙම ලංගම බස් රථය අද අලුයම කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අංගනයට ගෙනවිත් නවතා තිබුණි. ඒ අද දහවල් 11.45 ට යළිත් වවුනියාව බලා පිටත්ව යාමේ අරමුණෙනි. බස් රථය එලෙස අංගනයේ ගාල් කළ රියැදුරු, අලුයම 4.30 ට පමණ එහි යතුර රහස් ස්ථානයක සඟවා තබා බසයෙන් පිටතට ගොස් ඇති බව පොලිසිය පවසයි.
දහවල් ගමන් වාරය සඳහා නියමිත අනෙක් රියැදුරු අදාළ වේලාවට බස් රථය වෙත පැමිණෙන විට එය අංගනයේ තිබී නැත. මේ සම්බන්ධයෙන් වහාම කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බලධාරීන් දැනුවත් කිරීමට ඔහු පියවර ගෙන තිබේ. අනතුරුව පිටකොටුව ප්‍රදේශයේ සෑම මාර්ගයක්ම දැඩි ලෙස පරීක්ෂා කළ ද, දැවැන්ත ලංගම බස් රථය සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගැනුණි.
මෙවන් පසුබිමක, අතුරුදන් වූ අදාළ ලංගම බස් රථය පෑලියගොඩ ප්‍රදේශයේ මාර්ගයක නවතා ඇති බවට වෙනත් බස් රථ රියැදුරෙකු විසින් බලධාරීන්ට දැනුම් දී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කළ සෝදිසියකදී පෑලියගොඩදී එම බස් රථය සොයාගැනීමට හැකි විය. එහිදී නිරීක්ෂණය වී ඇති විශේෂිතම කරුණ වන්නේ, බස් රථයේ තිබූ ඉන්ධන ඉවතට ඇද ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ. පිටකොටුව පොලිසිය සහ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම විමර්ශන සිදු කරනු ලබයි. ඊට අමතරව කොළඹ ඇඟිලි සලකුණු කාර්යාලයේ නිලධාරීන් ද අදාළ ස්ථානයට පැමිණ බස් රථයේ තිබූ ඇඟිලි සලකුණු ලබාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
