බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන කම්පිත මරණ වලින් පැවසෙන්නේ තම මවගේ මරණය සිදවූ තැනදීම දිවිනසාගත් දියණියන් තිදෙනෙකු ගැනයි. වසර 16කට පෙර තම මව සියදිවි හානිකරගත් ස්ථානයට ගොස් නැවත පැමිණි සහෝදරියන් තිදෙනෙකු බ්‍රයිටන් වෙරළ තීරයේදී සියදිවි හානිකර ගැනීමේ ගිවිසුමකට අනුව මුහුදේ ගිලී මියගොස් ඇති බව මරණ පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
පසුගිය මැයි 13 වැනිදා මුහුදෙන් ගොඩගනු ලැබුවේ 36 හැවිරිදි ජේන් ඇඩෙටෝරෝ, 32 හැවිරිදි ක්‍රිස්ටිනා වෝල්ටර්ස් සහ 31 හැවිරිදි රෙබෙකා වෝල්ටර්ස් යන සහෝදරියන් තිදෙනාගේ මළ සිරුරු ය.අලුයම 5.45 ට පමණ පොලිසිය සහ වෙරළාරක්ෂක බලකාය වෙත මේ පිළිබඳව දැනුම් දී තිබූ අතර, ඔවුන් එම ස්ථානයට පැමිණෙන විටත් මෙම තිදෙනා මියගොස් සිටි බව බලධාරීන් විසින් තහවුරු කරන ලදී. වුඩ්වේල් මරණ පරීක්ෂක උසාවියේදී පැවති විමර්ශනයේදී හෙළි වූයේ, මෙම ඛේදවාචකයට පැය 48කටත් අඩු කාලයකට පෙර ඔවුන් බටහිර ලන්ඩනයේ අක්ස්බ්‍රිජ් හි පිහිටි ඔවුන්ගේ නිවසේ සිට බර්මින්හැම් හි අර්ඩිංටන් දක්වා ගමන් කර ඇති බවයි. 2010 වසරේදී ඔවුන්ගේ මව දියේ ගිලී මියගිය බෲක්වේල් පාර්ක් වැව අසලින් ඔවුන්ව වාහනයක නංවා ගැනීමට ප්‍රථම, ඔවුන් සිය මවගේ පැරණි නිවස වෙත ගොස් ඇති බව සීසීටීවී දර්ශන මගින් තහවුරු වී ඇත. එමෙන්ම ඔවුන් සිය මවගේ සොහොන වෙතද යන්නට ඇති බව මරණ පරීක්ෂණයේදී තවදුරටත් අනුමාන කෙරිණි. බර්මින්හැම් හි මිනිත්තු 90ක පමණ කෙටි කාලයක් ගත කිරීමෙන් පසු, මැයි 12 වැනිදා අලුයම කුලී රථයකින් නැවත ලන්ඩනයට පැමිණ ඇති ඔවුහු එදින සවස බ්‍රයිටන් බලා පිටත්ව ගොස් තිබේ.
අලුයම 2.42 ට පමණ පුද්ගලයින් තිදෙනෙකු වෙරළ දෙසට යන අයුරු දර්ශනවල සටහන් වී තිබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඔවුන් තිදෙනාම දියේ ගිලීමෙන් මියගොස් ඇති බවත්, ඒ වන විට කිසිදු මත්ද්‍රව්‍යයක් හෝ මත්පැන් වර්ගයක් භාවිතා කර නොතිබූ බවත්ය. ඔවුන්ගේ පියා වන ජෝසප් ජේකබ්සන් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර සිටියේ තම දියණියන්ගේ වියෝව තම හදවතේ කිසිවකටත් පිරවිය නොහැකි හිඩැසක් ඇති කර තිබෙන බවයි. මියයාමට පෙර මෙම සහෝදරියන් තිදෙනා විසින් සියලු ණය තුරුස් පියවා, බැංකු ගිණුම් වසා දමා ඔවුන් ජීවත් වූ නිවසද සම්පූර්ණයෙන්ම හිස් කර තිබූ බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය විය.

