2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකරන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
පෙත්සම්කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකරන බවත්, ඒ අනුව විමර්ශනවලට මැදිහත් වීමට අධිකරණය බලාපොරොත්තු නොවන බවත් විනිසුරු අබේසූරිය මහතා එහිදී ප්‍රකාශ කළේය.
අපරාධ යුක්ති ක්‍රියාදාමය නිසි පරිදි ඉදිරියට ගෙනයාම සඳහා විමර්ශන බාධාවකින් තොරව සිදුවිය යුතු බවත්, පෙත්සම්කරු සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගැනීමේ මූලික පියවර පවා අවසන් වී නොමැති පසුබිමක විමර්ශන ක්‍රියාවලිය අත්හිටුවීමට අධිකරණය මැදිහත් නොවන බවත් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේය.
තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීම, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, සිය සේවාදායකයා මෙම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කරමින් ඒ සඳහා අවසර ඉල්ලා සිටියේය. අභියාචනය සඳහා අවසර ඉල්ලීමේ කරුණු දැක්වීම් ඔක්තෝබර් 09 වැනිදා සිදුකළ හැකි බව එහිදී පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දෙන ලදී.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ අලි සබ්‍රි යන මහත්වරු නීතිඥ සනාත් විජේවර්ධන මහතා සමඟ පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියාය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කඩිනම් කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් රජය හමුවේ ඇති ප්‍රධාන ජාතික මෙන්ම ජාත්‍යන්තර බැඳීමක් ලෙස සැලකේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) සහ වතිකානය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව ද පාස්කු විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව සමීප අවධානයෙන් පසුවේ.

