letter-from-trinitarian-monks-after-conversation-with-president

මහජනතාවගේ වැඳුම් පිදුම් ලබන භික්ෂූන් වහන්සේ නමක් චීවරය නොමැතිව වෙනත් ස්වරූපයකින් දැකීමට සිදුවීම බෞද්ධ ජනතාවගේ සිත් තුළ දැඩි කණගාටුවක් ඇති කරන සංවේදී කරුණකි. සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේ සිදුවීමත් සමඟ සමාජය තුළ මතු වූ මෙම කතිකාවත මේ වන විට රාජ්‍ය මට්ටමේ තීරණාත්මක වෙනසකට මුලපුරා තිබේ.




2026 ඔක්තෝබර් 09 වැනි දින ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නියෝජිත මහාසංඝරත්නය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත 2026 ඔක්තෝබර් 07 වන දින මහානායක හිමිවරුන් විසින් යොමු කරන ලද ලිපිය මගින් මතු කර තිබූ කරුණු ඉතාමත් සාධාරණ බව ජනාධිපතිවරයා එහිදී පිළිගත්තේය.

කෙසේ වෙතත් පවතින නීතිමය රාමුව පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ බරපතල වැඩ සහිතව වසර තුනකට වැඩි කාලයක් සිරගත කිරීමට නියම වන භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් බැහැරට චීවරය සහිතව රැගෙන යාමට වත්මන් බන්ධනාගාර නීත්‍ය නියෝග යටතේ හැකියාවක් නොමැති බවයි. එබැවින් එම නීති කඩිනමින් සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත් කරන බවට ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.




වසර 40කට අධික කාලයක් චීවරය දරාගෙන සමාජයේ විවිධ ගැටලු වෙනුවෙන් පෙනී සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මුහුණදීමට සිදුවූ තත්ත්වයත් සමඟ මෙම නීතිමය ගැටලුව පිළිබඳව සමාජයේ අවධානය යොමු වූ බව අනුනායක ස්වාමීන්වහන්සේලා සහ ලේඛකාධිකාරී නායක ස්වාමීන්වහන්සේලා මෙහිදී පැහැදිලි කළහ. මුළුමහත් මහාසංඝරත්නයම කේන්ද්‍ර කරගනිමින් මහානායක හිමිවරුන් මෙම කරුණු මතු කරන බව උන්වහන්සේලා වැඩිදුරටත් අවධාරණය කළහ.

ඒ අනුව අධිකරණයකින් වරදකරු වී වසර තුනකට අධික කාලයකට සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධයෙන් අදාළ නිකායට හෝ පාර්ශ්වයට දැනුම් දිය යුතු බවට මහාසංඝරත්නය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එවැනි භික්ෂූන් වහන්සේ නමක් චීවරයෙන් බැහැරට ගෙනයාම සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත පමණක් බවත් ඒ සඳහා නව රෙගුලාසි මාලාවක් කඩිනමින් සකස් කළ යුතු බවත් උන්වහන්සේලා යෝජනා කළහ. අදාළ නිකායේ නිර්දේශය මත පමණක් මෙය සිදු කෙරෙන බැවින් කිසිවෙකුටත් මෙම සහනය අවභාවිත කිරීමට හැකියාවක් නොලැබෙන බව ද මහාසංඝරත්නය පෙන්වා දුන්හ.



මෙය ඉතා සුදුසු යෝජනාවක් බවත් ඒ හරහා අදාළ සංඝ සභාවට මැදිහත් වීමට විධිමත් අවස්ථාවක් ලැබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඊට එකඟතාව පළ කළ ජනාධිපතිවරයා සති දෙකක් ඇතුළත අදාළ රෙගුලාසි සකස් කර අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්නේය. ආගමික වශයෙන් ඉතා සංවේදී මෙම ගැටලුව පිළිබඳව අවධානය යොමු කරමින් කඩිනමින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මහාසංඝරත්නයේ පුණ්‍යානුමෝදනාව ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බව මල්වතු මහාවිහාරයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්වාමීන්වහන්සේගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

letter-from-trinitarian-monks-after-conversation-with-president