බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (03) රාත්‍රියේදී තීනියාවල ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක සැඟවී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වරෙන්තු 03 ක් නිකුත්ව තිබියදී පොලිසියට භාර නොවී කටයුතු කිරීම හේතුවෙන් ඥානසාර හිමි සොයා විශේෂ මෙහෙයුමක යෙදෙන්නට පොලිසියට සිදුවූයේ අධිකරණයේ කළ දැනුම්දීම අනුවයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඥානසාර හිමිව ඊයේ රාත්‍රියේදීම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ආ අතර, අද (04) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මෑතකදී නිකුත් කරන ලද විවෘත වරෙන්තුවකට අනුවය. ඥානසාර හිමිව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් අදාළ වරෙන්තුව නිකුත් කර තිබූ අතර, ඊට සමගාමීව රටින් පිටවීම වළක්වාලමින් විදේශ ගමන් තහනමක් ද පනවා තිබුණි.
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළව සිරදඬුවම් නියම වී සිටි ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ප්‍රදානය කර තිබුණි. එහෙත් එම සමාව අභියෝගයට ලක් කරමින් ගොනු කළ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකී ජනාධිපති සමාව බල රහිත කිරීමට පියවර ගත් අතර, මෙම නව වරෙන්තුව නිකුත් කෙරුණේ ඉන් අනතුරුවය.
වසර 6 ක සිර දඩුවම් කාලයෙන් මාස 7 ක් පමණක් ගෙවා දමා අවිධිමත් ජනපති සමාවක් මත ඉවතට පැමිණ සිටින ඥානසාර හිමි ඉතිරි වසර 5 යි මාස 5 ක කාලය නැවත සිර දඩුවම් විඳීමට මේ අනුව සිදුවනු ඇත.

