හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉල්ලා ඇති අතිරේක කාලසීමාව නිමවීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී නොසිටියහොත්, ඇයට එරෙහිව අධිකරණය හරහා විදේශ ගමන් තහනමක් පැනවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඇයගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ‘සිරිලිය’ පදනමට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පසුගිය සැප්තැම්බර් 24 වන දින අදාළ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම් දී තිබුණි. පසුගිය සැප්තැම්බර් 16 වනදා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම පිණිස ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, එම ගමන ආරම්භ කරන අවස්ථාවේදී ගුවන් තොටුපොළේදී පොලිස් නිලධාරීන් විසින් මෙම නිල දැනුම්දීම සිදු කර ඇත.
කෙසේ වෙතත්, විදේශගතව තවදුරටත් ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය වී ඇති බැවින් අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා තවත් දින 14ක අමතර කාලයක් ලබා දෙන ලෙස ඇය අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කර තිබේ. එම ලබා දී ඇති සහන කාලය ඇතුළත ඇය අදාළ විමර්ශනය සඳහා සහභාගී නොවුණහොත්, විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට කටයුතු කරන බවත්, එවැනි අධිකරණ නියෝගයක් නිකුත් වුවහොත් ඇය දිවයිනට පැමිණෙන අවස්ථාවේදීම අත්අඩංගුවට පත්වීමේ ඉඩකඩක් පවතින බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු පෙන්වා දී ඇත්තේ, ඇය නැවත දිවයිනට පැමිණෙන දිනයක් පිළිබඳව මූලිකව දැනුම් දී තිබුණද, මේ වන විට ඇය විදේශගතව සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බැවින් ඇයගේ නැවත පැමිණීම සම්පූර්ණයෙන්ම වෛද්‍ය අවශ්‍යතා මත පමණක් තීරණය වනු ඇති බවයි.

