මාතර - කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල් ඉඩමක ඊයේ (06) පස්වරුවේ විශේෂ බැනරයක් ප්‍රදර්ශනය විය. "ක්‍රියා විරහිත කර ඇති දේපළකි.
අනවසරයෙන් ඇතුළු වීම තහනම්, සද්භාවි හිමිකම් පාන්නන්ගේ අයිතිවාසිකම් මහාධිකරණය මගින් ඉල්ලුම් කළ හැකිය" යනුවෙන් එහි සටහන්ව තිබුණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ නමිනි. රුපියල් කෝටි 660ක දැවැන්ත වටිනාකමකින් යුත් මෙම දේපළ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි සැකකෙරෙන ඉඩමකි.පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දක්වන ලද කරුණු සැලකිල්ලට ගත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා, දින 14ක කාලයක් සඳහා මෙම දේපළ ක්‍රියා විරහිත කරමින් දැඩි තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව ඊයේ පස්වරු 4.00ට පමණ අදාළ ඉඩම් පරිශ්‍රයට පැමිණි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම නියෝගය ක්‍රියාත්මක කරනු ලැබූ අතර, ඉඩමට ඇතුළු වන ස්ථානයේ අදාළ බැනරය සවි කෙරිණි.
මෙම ආන්දෝලනාත්මක ඉඩම් ගනුදෙනුව සිදුව ඇතැයි කියැවෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදීය. නඩු විභාගයේදී අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව, ජර්මන් ජාතිකයෙකු වූ හර්බට් කෙලර් මහතාගෙන් මෙම ඉඩම මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 660ක් ගෙවා තිබේ.
මෙම දැවැන්ත මුදල හුවමාරු වී ඇති ආකාරය පිළිබඳවද විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත. සිංගප්පූරුවේ 'ඊගල් ගෲප් ඇසෝසියේටඩ්' ආයතනයෙන් සහ හොංකොංහි 'වර්ඩ් ඩයමන්ඩ්' ආයතනයෙන් ලැබුණු මුදල් මෙම ගනුදෙනුව සඳහා යොදවා තිබේ. එම මුදල් බැර වී ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතාගේ මස්සිනා වන පශු වෛද්‍ය තිස්ස ගලප්පත්ති සහ නෑනා වන අයෝමි පුණ්‍යකාන්ති ගලප්පත්ති යන දෙදෙනාට අයත්ව, නාරාහේන්පිට පිහිටි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය බද්ධ ගිණුමකට බව අධිකරණයේදී ප්‍රකාශ විය.
අයථා අන්දමින් උපයා ගත් බවට සැක කෙරෙන මුදල් යොදවා මෙම ඉඩම ලබාගෙන ඇති බව පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ.
මෙම ගනුදෙනුවට අදාළ නීතිමය දැල තවදුරටත් දැඩි වෙමින් පවතින බව අධිකරණ ක්‍රියාදාමය තුළින් පෙනෙන්නට ඇත. පසුගිය නඩු වාරයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් රාජසන්තක කරනු ලැබූ අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඊට පෙර නිකුත් කර තිබූ වරෙන්තුව ලබන 27 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කෙරිණි. ඒ අනුව, දින 14ක තහනමකට ලක්වූ මෙම දේපළ සහ අදාළ ඉඩම් ගනුදෙනුව සම්බන්ධ නඩුව ලබන 27 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතය.

