ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සටහන් කරමින්, ලෝක මලල ක්‍රීඩා සම්මාන ඉතිහාසය තුළ මෙතෙක් කිසිදු ලාංකිකයෙකුට ළඟා වීමට නොහැකි වූ සුවිශේෂී කඩඉමක් පසු කිරීමට 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත්ව සිටී. ඒ, ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් පිරිනමනු ලබන 2026 වසරේ 'විශිෂ්ටතම මලල ක්‍රීඩකයා' සම්මානය සඳහා ඔහුව නිර්දේශ කරනු ලැබීමත් සමගිනි.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තහවුරු කරන පරිදි, මෙම කීර්තිමත් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකුගේ නමක් යෝජනා වූ ප්‍රථම අවස්ථාව මෙයයි.මේ වන විට පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ රැඳී සිටින රුමේෂ්, මෙම වසර තුළ අතිවිශිෂ්ට දක්ෂතා මාලාවක් ප්‍රදර්ශනය කළේය. 2026 වසරේ මේ දක්වා ඔහු සහභාගි වූ ජාත්‍යන්තර තරගාවලි 14ක් අතුරින් 13කදීම රන් පදක්කමට හිමිකම් කීමට තරම් ඔහු ප්‍රබල විය. මීටර 92.62ක උපරිම දක්ෂතාවක් මේ වන විට සටහන් කර ඇති මෙම යොවුන් ක්‍රීඩකයා, පසුගිය සැප්තැම්බර් 28 වැනිදා ජපානයේ නගෝයා නුවරදී පැවැති 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 88.55ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනාගත්තේය. ඊට පෙර, ජූලි 31 වැනිදා ග්ලාස්ගෝව් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී මීටර 89.75ක දක්ෂතාවක් දක්වමින් එහි රන් පදක්කම හිමිකර ගැනීම ද ඔහුගේ මෙවර තරග වාරයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.
රුමේෂ් මෙලෙස ලොව විශිෂ්ටතම ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, යුරෝපයේදී පැවැති ඩයමන්ඩ් සහ අල්ටිමේට් යන ප්‍රධාන පෙළේ ලීග් මලල ක්‍රීඩා තරග මාලාවන්හිදී ඔහු දැක්වූ ඉහළ ජයග්‍රහණ බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම ජාත්‍යන්තර සම්මානය සඳහා ඔහුට තනිවම තරග වැදීමට සිදු නොවේ. මේ වසරේ ලොව පුරා සුවිශේෂී ජාත්‍යන්තර දක්ෂතා දැක්වූ තවත් මලල ක්‍රීඩකයන් 10 දෙනෙකු ද ඔහු සමග මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටිති.
මීළඟ පියවර ලෙස මෙම විශිෂ්ටයන්ගේ නාමාවලියෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු පමණක් අවසන් නිර්දේශය සඳහා තෝරා ගැනීමට නියමිතව ඇත. එලෙස තෝරා ගැනෙන අවසන් තුන්දෙනා අතරින් 2026 වසරේ ලොව විශිෂ්ටතම මලල ක්‍රීඩකයා කවරෙකුද යන්න, ලබන මස 29 වැනිදා ඉතාලියේ මොනාකෝ නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

