සාමාන්ය යතුරුපැදි අලුත්වැඩියා කරන මුවාවෙන් පවත්වාගෙන ගිය මොරටුව, එගොඩ උයන ප්රදේශයේ ගරාජයක්, සැලසුම් සහගත අපරාධ ජාලයක මධ්යස්ථානයක් බවට පත්ව තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබේ. කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම සහ කළුතර උතුර ප්රදේශයේ සිදුවූ මිනීමැරුමකට ද සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනකු අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම අපරාධ ජාලයේ තොරතුරු හෙළි වී ඇත.
බණ්ඩාරගම ප්රදේශයේදී රන් මාලයක් කොල්ලකා පලායමින් සිටියදී ලැබුණු තොරතුරක් සහ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයක් මෙම කල්ලිය කොටුකර ගැනීමේ හැරවුම් ලක්ෂ්යය විය. ඒ අනුව මුලින්ම සැකකරුවන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර, ඔවුන්ගෙන් සිදුකළ දීර්ඝ ප්රශ්න කිරීම්වලදී අඟුරුවාතොට ඇතුළු ප්රදේශ රැසක සිදුවූ රන් මාල කොල්ලකෑම් පිළිබඳ තොරතුරු පොලිසියට අනාවරණය විය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇලමෝදර, බහුරුපොල සහ මොරටුව ප්රදේශවල පදිංචි වයස අවුරුදු 23 සහ 30 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු සහ 34 හැවිරිදි ගරාජ් හිමිකරුවෙකි.
මොවුන් සිය කොල්ලකෑම් සඳහා භාවිත කර ඇත්තේ අංක තහඩු සහ වර්ණය වෙනස් කරන ලද එන්.එස්. වර්ගයේ යතුරුපැදියකි. මොරටුව එගොඩ උයන ප්රදේශයේ පවත්වාගෙන ගිය 34 හැවිරිදි සැකකරුගේ ගරාජයට කාර්මික දෝෂ හේතුවෙන් අලුත්වැඩියා කිරීම සඳහා ගෙන එන වෙනත් යතුරුපැදිවල අංක තහඩු සහ පැහැයට අදාළ කොටස් යොදාගෙමින්, කොල්ලකෑම් සඳහා යොදාගන්නා යතුරුපැදිය ඉතා සූක්ෂම ලෙස වෙනස් කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.
මෙම අපරාධ ජාලයේ ක්රියාකාරකම් හුදෙක් රන් මාල කොල්ලකෑමට පමණක් සීමා වී නොමැත. රන් මාල කොල්ලකෑමේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රෑම් 10,240ක් සොයාගෙන ඇති අතර, ගරාජ් හිමිකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්රෑම් 5,050ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. ඒ අනුව, මෙම කොල්ලකෑම් මත්ද්රව්ය ජාවාරම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
ඊටත් වඩා බරපතළ කරුණක් වන්නේ, කළුතර උතුර ප්රදේශයේ සිදුවූ මිනීමැරුමකට ද මෙම කල්ලියේ සම්බන්ධයක් පවතින බවට විමර්ශනවලදී හෙළි වී තිබීමයි. මේ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ අනෙකුත් අපරාධ පිළිබඳව පොලිසිය තවදුරටත් පුළුල් විමර්ශන ක්රියාත්මක කරමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා, කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරුපැදිය සහ මත්ද්රව්ය සමඟ හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාගේ උපදෙස් මත, උප පොලිස් පරීක්ෂක අමිල වීරසේකර, පොලිස් සැරයන් (35477) ලලිත්, පොලිස් කොස්තාපල් (99625) අබේකෝන්, පොලිස් කොස්තාපල් (102446) දිසානායක, පොලිස් කොස්තාපල් (102449) මදුෂාන් සහ කාන්තා පොලිස් කොස්තාපල් (13226) චමෝදි යන නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.