දේශපාලන මැදිහත්වීම්වලින් තොර ස්වාධීන නීතිය ක්රියාත්මක කිරීමේ ප්රතිඵලයක් ලෙස පසුගිය වසර දෙකක කාලය තුළ රතු සහ නිල් නිවේදන හරහා විදේශයන්හි සැඟවී සිටි ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවන් 67 දෙනෙකු ශ්රී ලංකාවට රැගෙන විත් නීතිය ක්රියාත්මක කිරීමට රජය සමත්ව තිබේ.
මෙම තොරතුරු අනාවරණය කළේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය, නීතිඥ සුනිල් වටගල විසිනි. පසුගිය 16 වනදා බේරුවල ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේදී පැවති 'ඉවත්වනු මත්ද්රව්යයෙන් - රටම එකට ජාතික මත්ද්රව්ය නිවාරණ මෙහෙයුම' වැඩසටහනේ බේරුවල මහජන ආරක්ෂක ප්රාදේශීය ප්රගති සමාලෝචන රැස්වීම අමතමින් හෙතෙම මේ බව තහවුරු කළේය. ජාත්යන්තර පොලිසියේ සහාය ඇතිව සිදුකළ මෙම අඛණ්ඩ මෙහෙයුම්වල ප්රතිඵලයක් ලෙස මේ වන විට මත්ද්රව්ය කිලෝග්රෑම් 1375ක දැවැන්ත ප්රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද නියෝජ්ය අමාත්යවරයා එහිදී ප්රකාශ කළේය.
අතීතයේ පැවති පාලන ක්රමය සහ වත්මන් නීතිය ක්රියාත්මක වීමේ ස්වභාවය අතර ඇති දැඩි වෙනස මෙහිදී නියෝජ්ය අමාත්යවරයාගේ විශේෂ අවධානයට ලක්විය. අතීතයේ පැවති ආණ්ඩු යටතේ නීතිය ක්රියාත්මක වූයේ පුද්ගලයාගේ සමාජ තරාතිරම මත බවත්, ඇති හැකි අයට එක නීතියකුත් නැති බැරි අයට තවත් නීතියකුත් ක්රියාත්මක වූ බවත් ඔහු සිහිපත් කළේය. එදා දියවන්නාව නියෝජනය කළ ඇතැම් දේශපාලනඥයන් මත්ද්රව්ය ජාවාරම්කරුවන් සහ භාවිත කරන්නන් පෝෂණය කරමින් මෙම ජාවාරම සෘජුවම මෙහෙයවූ බවට චෝදනා කළ අමාත්යවරයා, එහෙත් අද වන විට තරාතිරම නොබලා සැමට එක හා සමානව නීතිය ක්රියාත්මක කරන බව අවධාරණය කළේය.
ශ්රී ලංකාව තුළ ක්රියාත්මක මත්ද්රව්ය ජාලවල ප්රධාන මොළකරුවන් මෙරට තුළ නොමැති බවත්, ඔවුන් ඉන්දියාව, පාකිස්ථානය, ඉන්දුනීසියාව සහ නේපාලය වැනි රටවල සිට මෙම ජාලයන් මෙහෙයවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. අතීතයේදී මෙරට දේශපාලනඥයන් මෙම ජාලයන් සමග දැඩිව බැඳී සිටියද, වර්තමානයේ දේශපාලන අධිකාරියෙන් පොලිසියට එල්ල වන බලපෑම් මුළුමනින්ම නතර වී ඇති බව ඔහු පැවසීය. අතීතයේ දේශපාලනයට යටවී තිබූ නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම ශ්රී ලංකා පොලිසියද මේ වන විට පූර්ණ ස්වාධීනව කටයුතු කරමින් සිටී.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන ලද මෙම ජාතික මත්ද්රව්ය නිවාරණ වැඩපිළිවෙළ මේ වන විටත් සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතින බව පෙන්වා දුන් වටගල මහතා, ජාතික, දිස්ත්රික් සහ ප්රාදේශීය මට්ටමින් කමිටු පිහිටුවා සාමාන්ය පුරවැසියන්ද මෙම මෙහෙයුමට සක්රීයව දායක කරගෙන ඇති බව පැවසීය. ගම් මට්ටමේ රාජ්ය නිලධාරීන්, පුරවැසියන් සහ පොලිසිය ඒකාබද්ධ වීමෙන් මෙම මත්ද්රව්ය ව්යසනය ගමෙන් මෙන්ම රටින්ද මුලිනුපුටා දැමිය හැකි බව ඔහුගේ දැඩි විශ්වාසයයි.
මේ අතර රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවද අදහස් දැක්වූ නියෝජ්ය අමාත්යවරයා, මේ වන විට ඩොලර් හෝ රුපියල් සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටලුවක් නොමැති බව ප්රකාශ කළේය. විදෙස් ණය වාරික නිසි පරිදි ගෙවා දමන අතරතුරම, දේශීය මුදල් භාවිත කරමින් අධිවේගී මාර්ග සංවර්ධන ව්යාපෘති යළි ආරම්භ කිරීමට රජයට හැකි වී තිබීම ඊට කදිම නිදසුනක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම ප්රගති සමාලෝචන රැස්වීම සඳහා කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහ බේරුවල සංවර්ධන කමිටුවේ සභාපති චන්දිම හෙට්ටිආරච්චි, බේරුවල ප්රාදේශීය ලේකම් ජනක පෙරේරා, කළුතර කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර, සහකාර පොලිස් අධිකාරී චන්ද්ර පද්මලාල් යන මහත්වරුන් එක්ව සිටියහ. ඊට අමතරව අලුත්ගම, බේරුවල සහ පයාගල යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් වන සම්පත් සංජීව, එම්.ආර්. නවරත්න සහ ප්රදීප් තරංග ඇතුළු රාජ්ය නිලධාරීන් සහ මහජන ආරක්ෂක කමිටු නියෝජිතයන් හාරසියයක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටීම කැපී පෙනුණි.