controversial-clauses-in-the-organized-crime-prevention-bill

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව තුළට අලුතින් එක්වීමට නියමිත "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හුදෙක් අපරාධ මර්දනයට පමණක් සීමා වූවක් නොවන බවට මේ වන විටත් සමාජය තුළ බරපතළ කතාබහක් නිර්මාණය වෙමින් පවතී. 2026 ඔක්තෝබර් 6 වැනිදා ගැසට් අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මෙම යෝජිත නීති මාලාව, මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් විශුද්ධිකරණය සහ මිනිස් ජාවාරම් වැනි දේශසීමා ඉක්මවා යන සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා විදෙස් ආරක්ෂක අංශ සමඟ තොරතුරු හුවමාරු කර ගැනීමටත් විමර්ශන පුළුල් කිරීමටත් අවස්ථාව සලසා දෙයි.

එහෙත්, මෙම පනතේ අඩංගු ආන්දෝලනාත්මක වගන්ති සැලකිය යුතු මහජන සංවාදයකට තුඩු දෙනු ඇතැයි ඩේලි මිරර් පුවත්පත පෙන්වා දෙයි.




විශේෂයෙන්ම, අපරාධයක් සිදු කිරීමටත් වඩා පුද්ගලයකුගේ "ආශ්‍රයට" දඬුවම් දිය හැකි පරිසරයක් මෙමගින් නිර්මාණය වන බවට චෝදනා නැඟෙමින් තිබේ. පනතේ 4(2) වගන්තියට අනුව, යම් පුද්ගලයකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු දැයි තීරණය කිරීමේදී ඔහුගේ ඇඳුම් පැලඳුම්, අභිනය, ආශ්‍රය කරන පුද්ගලයන් සහ යන එන ස්ථාන අධිකරණයට සලකා බැලිය හැකිය. මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය යටතේ තරුණයන්, කොන් වූ ප්‍රජාවන්, විරෝධතාකරුවන් සහ ආණ්ඩු විරෝධී මතධාරීන් මෙම නීතියේ ගොදුරු බවට පත්වීමේ අවදානයක් පවතින බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් මෙරට පවතින සාමාන්‍ය නීතිය විශාල වෙනසකට ලක් කරමින් යෝජිත නව නීති යටතේ පොලිසියට සුවිශේෂී බලතල හිමිවෙයි. 17 වගන්තිය හරහා දරුණු අපරාධයක් පිළිබඳ සැකයක් මත වරෙන්තුවක් නොමැතිව ඕනෑම පුද්ගලයකු හෝ වාහනයක් නතර කර පරීක්ෂා කිරීමටත්, නිවාස ඇතුළු පරිශ්‍රවලට ඇතුළු වී සෝදිසි කර අත්අඩංගුවට ගැනීමට හා භාණ්ඩ භාරයට ගැනීමටත් පොලිසියට බලය ලැබේ. දණ්ඩ නීති සංග්‍රහයේ 7 වගන්තිය යටතේ සාමාන්‍ය නීතියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා සැකකරුවකු පැය 24ක් තුළ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු වුවද, නව පනතේ 20(1) වගන්තියට අනුව ගමන් කාලය හැර එම කාලය පැය 72ක් දක්වා දීර්ඝ කර ඇත. තවදුරටත් විමර්ශන අවශ්‍ය නම්, ලේඛනගත කළ හේතු මත තවත් පැය 24ක් සැකකරු පොලිස් භාරයේ තබා ගැනීමට අවසර දීමේ බලය මහේස්ත්‍රාත්වරයාට පවරා තිබේ.




මෙම පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග සහ ඇප ලබා දීමේ කොන්දේසි ද අතිශය දැඩි කර ඇත. 21 වගන්තියට අනුව, විමර්ශන කටයුත්තක් සඳහා පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු බලයලත් නිලධාරියකුගේ ඉල්ලීමක් මත එක් වරකට මාස දෙකක් දක්වා වන පරිදි, මුල් නියෝගයේ සිට වසරක් නොඉක්මවන කාලයක් සැකකරුවකු රඳවා තබා ගැනීමට ලේකම්වරයාට නියෝග කළ හැකිය. තවද, රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් නැවත පොලිස් භාරයට ගෙන වෙන්කර තබා ගැනීමටත්, වරකට සති දෙක බැගින් උපරිම මාස හයක කාලයක් දක්වා එලෙස රඳවා තබා ගැනීමටත් 25 වගන්තියෙන් ප්‍රතිපාදන සලසා තිබේ. යම් හෙයකින් මෙම පනත යටතේ රිමාන්ඩ් වන සැකකරුවකුට ඇප ඉල්ලා සිටිය හැක්කේ මහාධිකරණයෙන් පමණි. මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවන අපරාධයක් සම්බන්ධයෙන් ඇප ලැබෙන්නේ ඉතා සුවිශේෂී කරුණු යටතේ පමණක් වුවද, අධිචෝදනා පත්‍රයක් නොමැතිව වසරකට වඩා කිසිවකු රිමාන්ඩ් භාරයේ තැබිය නොහැකි අතර ඉන්පසු මහාධිකරණය මගින් ඇප මත මුදා හැරිය යුතු වේ.

පුද්ගලිකත්වය සහ ඩිජිටල් ආවේක්ෂණය සම්බන්ධයෙන් ද පනත ගෙන එන්නේ දැඩි ප්‍රවේශයකි. 28 සහ 45 වගන්ති මගින් සන්නිවේදන මාර්ගවලට සවන්දීමට, ඒවා පටිගත කිරීමට සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල දත්ත ලබා ගැනීමට අධිකරණ නියෝග ලබාගැනීමට පහසුකම් සලසා ඇත. ඊටත් ඔබ්බට යමින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට කිසිදු අධිකරණ නියෝගයකින් තොරව දුරකථන සහ අන්තර්ජාල පරිශීලකයන්ගේ දත්ත හා ස්ථානගත තොරතුරු ලබාගැනීමට 44(4) වගන්තියෙන් ඉඩ ලැබේ. සාධාරණ සැකයක් පවතී නම්, මුරපද (Passwords) යොදා ඇති උපකරණ අගුළු හැර (Unlock) දෙන ලෙස නියෝග කිරීමටද පොලිසියට හැකියාව පවතී.



අධිකරණ වාර්තාකරණයට සහ මාධ්‍ය නිදහසට එල්ල විය හැකි බලපෑම ද මෙහිදී කැපී පෙනේ. 14(1) වගන්තියට අනුව, දරුණු අපරාධයක වින්දිතයකුගේ නම් හෝ පෞද්ගලිකත්වය හෙළිවන තොරතුරු ප්‍රසිද්ධ කරන ඕනෑම අයකු වරදකරුවකු ලෙස සැලකේ. මහේස්ත්‍රාත්වරයකු හමුවේ කෙරෙන සංක්ෂිප්ත නඩු විභාගයකින් පසු වසර දෙකක් නොඉක්මවන සිරදඬුවමක් හෝ දඩයක්, නැතහොත් ඒ දෙකම නියම විය හැකිය. එමෙන්ම, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව මෙවැනි වැරදි සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමද 14(3) වගන්තිය යටතේ වරදක් බවට පත් කර ඇත.

සාක්ෂි ආඥාපනතේ සම්ප්‍රදායික රාමු අතික්‍රමණය කරන මෙම පනතේ 47 වගන්තියට අනුව, සහකාර පොලිස් අධිකාරීවරයකු හෝ ඊට ඉහළ නිලධාරියෙකු හමුවේ කෙරෙන පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනෙයි. පුද්ගලයකුගේ අතීත හැසිරීම් සහ ආශ්‍රය කළ අය පිළිබඳ කරුණු කල්ලියක සාමාජිකත්වය තහවුරු කිරීමට සාක්ෂියක් කරගත හැකි බව 50 වගන්තියේ දැක්වෙන අතර, මහේස්ත්‍රාත්වරයකු විසින් හෝ හඳුනාගැනීමේ පෙරට්ටුවකදී සටහන් කරගන්නා ලද ප්‍රකාශයක්, අදාළ තැනැත්තා මියගොස් ඇත්නම් හෝ සොයාගැනීමට නොමැති නම්, ඔහු නඩු විභාගයට නොසිටියද සහ හරස් ප්‍රශ්න ඇසීමට නොහැකි වුවද සාක්ෂියක් ලෙස පිළිගැනීමට 48 වගන්තියෙන් ඉඩ සලසා තිබේ.

උපරිම වසර 4ක හෝ ඊට වැඩි සිරදඬුවම් ලැබිය හැකි වැරදි සඳහා මෙම නීති අදාළ වන අතර, ශ්‍රී ලංකාවෙන් පිටත සිදුවන ඇතැම් වැරදි සඳහා ද මෙය බලපැවැත්වේ. කල්ලියක සාමාජිකයකු ලෙස යම් වාසියක් උදෙසා දරුණු අපරාධයක් කිරීමට එක් අයකු හෝ කිහිපදෙනෙකු සමග එකඟ වන අයෙකුට වසර 5 සිට 20 දක්වා සිරදඬුවම් සහ රුපියල් මිලියනය දක්වා දඩ නියම වීමට මෙමගින් ඉඩ සැලසේ. සංවිධානාත්මක අපරාධ ජාලයන් බිඳ දැමීමේ අරමුණින් ගෙන එන මෙම නව පනත, එහි අඩංගු සුවිශේෂී බලතල හේතුවෙන්ම මේ වන විටත් මෙරට සමාජය සහ නීති ක්ෂේත්‍රය තුළ පුළුල් කතිකාවතක් නිර්මාණය කර තිබේ.