රාත්‍රී සමාජ ශාලාවලට කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි බවට අනාවරණය වූ විදෙස් ජාතිකයන් සිව්දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී නීතියේ රැහැනට හසුව තිබේ. ඒ, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයේ හෝටලයක් සහ සුපිරි වෙළෙඳසැල් සංකීර්ණයක් තුළ සිදුකරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජැමෙයිකානු ජාතිකයන් සිව්දෙනෙකු වන අතර, ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.
මෙම සැකකරුවන් සහ සැකකාරියන් සිව්දෙනා සන්තකයේ තිබූ එම කොකේන් මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 01ක්, ග්‍රෑම් 20ක්, ග්‍රෑම් 16ක් සහ ග්‍රෑම් 12ක් වශයෙන් වෙන් වෙන්ව සොයාගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන් සමත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
