හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළේය. පෙර නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය දැක්වූ හේතු සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගෙන ඇත.
අදාළ නඩු වාරය පැවැති දිනයේ සිය සේවාදායකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූයේ මවගේ අවමංගල්‍ය කටයුතු පැවැතීම නිසා බව ජනාධිපති නීතිඥ නලින් ලද්දුවේහෙට්ටි මහතා කරුණු දක්වමින් අධිකරණයට දැනුම් දුන්නේය. එම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව මෙලෙස ආපසු කැඳවීමට පියවර ගත්තේය.
අධිකරණය මගහරිමින් සිටින ප්‍රියංකා නියෝමාලි විජේනායක නමැති සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඇගේ ඇපකරුවන්ගේ ඇප රාජසන්තක කිරීම පිළිබඳ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී අරවින්ද ද සිල්වා යුවළ පෙනී සිට නැත. ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් අදාළ වරෙන්තුව ඊයේ දිනයේදී නිකුත් කර තිබිණි.
2013 වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10කින් සමන්විත බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව මෙම නඩුව පවරා ඇත. එහි ප්‍රධාන සැකකරු වන අභාවප්‍රාප්ත කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ මෙලෙස ඇපකරුවන් ලෙස පෙනී සිට තිබේ.
