අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමේ පූජාවක් සඳහා යමින් සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරිනියන් දෙදෙනෙකු දකුණු කළුතර දුම්රිය ස්ථානය අසලදී ඊයේ (16) අලුයම 4.45 ට පමණ ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. සේරුපිට සිවිල් ආරක්ෂක හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ මතුගම, මහකළුපහන පදිංචි 58 හැවිරිදි විතාන ගමගේ රේණුකා දමයන්ති සහ අගලවත්ත, මානාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙවෙනි ගුරුගේ ශ්‍රියානි යන අය මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මොවුන් දෙදෙනා දෙමටගොඩ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ සේවා දුම්රියක ගැටී ඇති බව අනාවරණය වේ.සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැක්වූ මියගිය ශ්‍රියානි මහත්මියගේ දියණිය වන ලක්ෂිකා මධුෂානි ප්‍රකාශ කළේ, සිය මව සහ ඇගේ මිතුරිය අනුරාධපුර සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමේ ගමන සඳහා අලුයම 2.00 ට පමණ නිවසින් පිටවූ බවයි. කළුතර බලා යන බස් රථයට ගොඩවීම සඳහා මව මතුගම නගරයට කැඳවාගෙන ගොස් ඇරලවා ඇත්තේ ඇගේ සැමියා විසිනි.
මෙම වන්දනා ගමන සඳහා රේණුකා දමයන්ති මහත්මියගේ 16 හැවිරිදි දියණිය ද එක්ව සිට ඇත. ඇය පවසන පරිදි, මතුගම සිට බස් රථයකින් කළුතර දුර ගමන් සේවා බස් නැවතුම වෙත පැමිණි ඔවුන්, ක්‍රීඩාංගණය ආසන්න මාර්ගය ඔස්සේ පැමිණ දුම්රිය වේදිකාවට ගොඩවීමට උත්සාහ කර තිබේ. එහිදී දියණිය පළමුව වේදිකාවට ගොඩවී දුම්රියක් පැමිණෙනු දැක අනෙක් දෙදෙනා ඉහළට ඇද ගැනීමට උත්සාහ කළ ද, ඊට පෙර වේගයෙන් පැමිණි දුම්රියේ ඔවුන් ගැටී ඇත.
අනතුරින් මියගිය දෙදෙනාගේ සිරුරු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඊට අදාළ හදිසි මරණ පරීක්ෂණ කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක නිරෝෂා නිලුක් පිනී මහත්මිය ඉදිරියේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (55318) එස්.ඒ.ආර්.කේ. ද සිල්වා මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
