warning-that-the-part-in-cinema-is-not-possible-in-real-life---case-of-assault-on-critic---hemal-ranasinghe-pays-5-lakhs-in-compensation

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ සිනමා විචාරක ලක්මිණ රණසිංහට පහරදීම සහ සාපරාධී බියගැන්වීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ සියලු චෝදනාවලට හේමාල් මහතා වරද පිළිගෙන තිබේ. එහිදී සිදුවූ හානිය වෙනුවෙන් හේමාල් මහතා විසින් රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබාදීමටත්, ලක්මිණ මහතාගෙන් සමාව ඇයැදීමටත් එකඟ වී ඇත.

අදාළ වන්දි මුදල මහරගම පිළිකා රෝහල වෙත පරිත්‍යාග කර ඊට අදාළ ලදුපත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පැමිණිලිකාර ලක්මිණ මහතා පියවර ගෙන ඇති අතර, දෙපාර්ශ්වය අතර ඇති වූ සමථ කොන්දේසි සලකා බැලූ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මෙම නඩු කටයුත්ත අවසන් කිරීමට තීරණය කළේය.




මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අගතියට පත් පාර්ශ්වයට අපහාස නොකිරීම සමථයේ ප්‍රධාන කොන්දේසියක් වුවද විත්තිකරුගේ හිතවතුන් සහ ක්ෂේත්‍රයේ පිරිස් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලක්මිණ මහතාට අපහාස වන අන්දමේ සහ පහරදීම සාධාරණීකරණය කරන අයුරින් සටහන් පළකරන බවයි. විනය සහ ක්ෂේත්‍රයේ ගෞරවය රැකගැනීමේ වැදගත්කම පෙන්වා දුන් නීතීඥවරයා, අදාළ සමාජ මාධ්‍ය සටහන්වල පිටපත් ද මහේස්ත්‍රාත්වරිය වෙත බාර දුන්නේය. මෙහිදී විත්ති පාර්ශ්වයේ නීතීඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ විත්තිකරු ජනප්‍රිය චරිතයක් වන බැවින් වෙනත් පාර්ශ්වයන් පළකරන සටහන් සඳහා ඔහු වගකීමට බැඳී නැති බවයි.

කෙසේවෙතත්, කරුණු සලකා බලමින් ගරු මහේස්ත්‍රාත්වරිය හේමාල් රණසිංහ මහතා වෙත දැඩි ලෙස අවවාද කරමින් සඳහන් කළේ, නඩුව අවසන් නොමැති අවස්ථාවක මෙවැනි ප්‍රකාශ නිකුත් වීම වැරදි බවත්, ටෙලිනාට්‍යවල හෝ සිනමාවේ රඟපාන චරිත සැබෑ ජීවිතය තුළ රඟදැක්වීමට උත්සාහ නොකරන ලෙසත්ය. එසේම තමන් කළත් මිතුරන් ලවා කළත් මෙවැනි දෑ සිදුවීම වැළැක්වීමට විත්තිකරු වගබලාගත යුතු බවද අධිකරණය වැඩිදුරටත් අවධාරණය කළේය.




මෙම සිදුවීමට අදාළ මුල් සිදුවීම වාර්තා වන්නේ 2026 ජනවාරි 8 වන දින හැව්ලොක් සිටි සිනමා සංකීර්ණයේ පැවැති ‘ෆාදර්’ චිත්‍රපටයේ මංගල දර්ශනය අතරතුරදීය. එහිදී ‘මාරියා’ චිත්‍රපටය සම්බන්ධයෙන් කළ විචාරයකදී තමා ගැන සඳහන් නොකිරීම සහ ඡායාරූප පළ නොකිරීම මුල් කරගනිමින්, කලා ක්ෂේත්‍රයේ පිරිස් ඉදිරියේ හේමාල් මහතා විසින් ලක්මිණ මහතාගේ හිස, බෙල්ල සහ පිට ප්‍රදේශයට පහර දී තිබිණි. ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනවිරත්න මහත්මිය ඇතුළු පිරිසක් ඉදිරියේ සිදු වූ මෙම පහරදීමෙන් පසු ලක්මිණ මහතා වැල්ලවත්ත පොලීසියට පැමිණිලි කර කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තේය.

සිදුවීමෙන් පසු සති කිහිපයක් පොලීසිය මඟහැර සිටි හේමාල් මහතා 2026 පෙබරවාරි 3 වන දින නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මුලදී විත්ති පාර්ශ්වය විසින් පහරදීමක් සිදු නොවූ බවත් අතින් ඇදීමක් පමණක් වූ බවත් ප්‍රකාශ කළද, සිදුවීමට අදාළ සීසීටීවී (CCTV) දර්ශන සහ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කිරීමත් සමඟ, නඩුව සමථ මණ්ඩලයට යොමු කෙරුණු අතර එහිදී හේමාල් මහතා සියලු වැරදි පිළිගැනීමට කටයුතු කළේය.



මීට පෙරද 2025 මාර්තු මාසයේදී ‘අයිස්ක්‍රීම්’ චිත්‍රපටයේ රංගනය සම්බන්ධයෙන් කළ විචාරයක් හේතුවෙන් හේමාල් මහතා විසින් ලක්මිණ මහතාට වට්ස්ඇප් ඔස්සේ තර්ජනය කර ඇති අතර, 2025 සැප්තැම්බර් මාසයේදී කොළඹ සිටි ඕෆ් ඩ්‍රීම්ස් (City of Dreams) හෝටලයේදී ද පහරදී තර්ජනය කර තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.

මෙම සිදුවීමට මුහුණ දුන් හේමාල් රණසිංහ මහතා නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ සම්මානනීය තත්ත්වයට පත්, සරසවි සහ දෙරණ සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වූ ජනප්‍රිය රංගන ශිල්පියෙකි. අගතියට පත් ලක්මිණ රණසිංහ මහතා සිනමාව සහ ටෙලිනාට්‍ය පිළිබඳ තාර්කික විචාර ඉදිරිපත් කරන, වෙළඳ දැන්වීම් නිර්මාණකරණයෙහි සහ වැඩසටහන් මෙහෙයවීමෙහි නිරත වන තරුණ විචාරකයෙකි.