තමාගේ මූලික පෞද්ගලික අවශ්‍යතාවයන් පවා තනිව ඉටු කර ගැනීමට නොහැකි, වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර රැඳවියන් පිරිසක් තවදුරටත් සිරගතව සිටින බව ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. යහපත් කල්ක්‍රියාව වෙනුවෙන් නිදහස් වීමට සුදුසුකම් ලබා තිබුණද, දශක ගණනාවක් තිස්සේ තවමත් සිරදඬුවම් විඳිමින් සිටින රැඳවියන් රැසක් බන්ධනාගාර තුළ සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඇප මත මුදා හැරීමෙන් පසුව ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වයස අවුරුදු 18දී බන්ධනාගාරගත වී වසර 30කට අධික කාලයක් සිරගතව සිටියදී මියගිය පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ද මෙහිදී සභාව හමුවේ තැබීය. සුදුසුකම් සපිරුවද නිදහස නොලබා වසර ගණනාවක් තිස්සේ සිරගතව සිටින බොහෝ පිරිසක් එහි සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් වරදකරු වී ජූලි 28 වන දින මාස 18ක සිරදඬුවමක් නියම වූ චමින්ද විජේසිරි මහතා, පසුව ඇප මත මුදා හරින ලදී. සිරකරණයේ අත්දැකීම් ආවර්ජනය කරමින්, පසුගිය කාලය තුළ තමාට සිදු වූ අලාභහානිවලට හේතු වූ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ඔහු ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද දැඩි ලෙස විවේචනය කළේය.