
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ව්‍යාපාරික කාන්තාවක් විසින් සිය ආයතනයේ සේවකයින් පිරිසකට නවතම iPhone 18 ජංගම දුරකථන තෑගි කරන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා වේගයෙන් සංසරණය වෙමින් පවතී. World Star Holding ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා හසීනා නිෂාඩ් විසින් මෙම ත්‍යාග ප්‍රදානය සිදු කර ඇති අතර, සේවකයින් සතුටින් තබා ගැනීම සිය ආයතනයේ ප්‍රධාන අරමුණක් බව ඇය Khaleej Times පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
සේවකයින් යනු ආයතනයේ ශක්තිය බවත්, ඔවුන් නොමැතිව කිසිදු වර්ධනයක් ලබා ගත නොහැකි බවත් ඇය එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.මානව සම්පත් සැපයීමේ සේවා සපයන මෙම ආයතනය හසීනා සහ ඇයගේ සැමියා වන ආයතනයේ සභාපති නිෂාඩ් හුසේන් විසින් මෙහෙයවනු ලබයි. පසුගිය දිනක නිෂාඩ් විසින් සිය සේවකයින්ට ත්‍යාග පාර්සල් කිහිපයක් බෙදා දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර, එම පාර්සල්වලින් අඩක iPhone 18 දුරකථන ද අනිත් අඩෙහි විශාල චොකලට් ද අඩංගු වී තිබුණි. කෙසේ වෙතත්, චොකලට් ලැබුණු සේවකයින් කිසිදු කණගාටුවක් පළ නොකළ අතර, පසුව හසීනා විසින් ඔවුන්ට ද නවතම දුරකථන ලබා දෙමින් පෙර ලබාදුන් චොකලට් පාර්සලය හුදෙක් විහිළුවක් පමණක් බව පවසා ඇත.
මෙම විශේෂ ත්‍යාගයන් හිමිව ඇත්තේ ආයතනයේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ සේවකයින් 12 දෙනෙකු සඳහාය.
මෙලෙස සේවකයින් ඇගයීමට ලක් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර, පසුගිය වසරේදී ද හොඳම සේවකයින්ට අයිෆෝන් (iPhones) ලබා දීමට ඔවුන් කටයුතු කර තිබේ. එසේම 2024 වසරේ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් සේවකයින් 16 දෙනෙකුට තරු පහේ හෝටල්වල නවාතැන්, රියදුරන් සහිත සුපිරි මෝටර් රථ සහ යාත්‍රා සාද (yacht parties) වැනි සුවිශේෂී වරප්‍රසාද ලබා දී ඇති අතර, 2023 වසරේදී විශේෂ චිත්‍රපට දර්ශනයක් ද සංවිධානය කර ඇත. මෙවැනි ක්‍රියාමාර්ග හරහා දක්ෂ සේවකයින් දිගුකාලීනව ආයතනය තුළ රඳවා ගැනීමට හැකි වී ඇති බවත්, තම සේවකයින්ගෙන් බහුතරයක් වසර පහකට වඩා වැඩි කාලයක් තිස්සේ ආයතනය සමඟ රැඳී සිටින බවත් හසීනා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
