type-2-diabetics-at-risk-of-breast-colon-and-lung-cancer

දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ට පියයුරු, බඩවැල් සහ පෙනහළු වැනි පිළිකා තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඩෙන්මාර්ක විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට අනුව, දෙවන වර්ගයේ දියවැඩියාව නොමැති කාන්තාවන්ට සාපේක්ෂව එම රෝගය සහිත කාන්තාවන්ට පිළිකා වැළඳීමේ සම්භාවිතාව සියයට 22කින් ඉහළ ගොස් ඇති අතර, පිරිමින් සඳහා එම අවදානම සියයට 12ක් වේ.

විශේෂයෙන්ම වකුගඩු සහ අක්මාව ආශ්‍රිතව හටගන්නා තරබාරුකමට සම්බන්ධ පිළිකා සම්බන්ධයෙන් මෙම අවදානම වඩාත් තීව්‍ර බව සොයාගෙන ඇත.




මෙම පර්යේෂණයේ සොයාගැනීම් යුරෝපීය දියවැඩියා අධ්‍යයන සංගමයේ වාර්ෂික රැස්වීමේදී ඉදිරිපත් කරනු ලැබීය. තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව සහ පිළිකාව යන තත්ත්වයන් ත්‍රිත්වයම වර්තමානය වන විට සමාජය තුළ බහුලව දක්නට ලැබෙන අතර, ඒවා අතර පවතින අන්තර් සම්බන්ධතාවය තහවුරු කරන සාක්ෂි සඳහා මෙම නව අධ්‍යයනය මගින් තවත් අගනා පිටිවහලක් සපයයි. පසුගිය දශක දෙකක කාලය තුළ අවුරුදු 25ත් 50ත් අතර වයස් කාණ්ඩයේ පුද්ගලයින් අතර පිළිකා රෝග විනිශ්චයන් හතරෙන් එකකින් පමණ වර්ධනය වී ඇති බව වාර්තා වේ. 

විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය, එම කාලසීමාව තුළ දෙගුණයක් වී ඇති තරබාරුකමේ ප්‍රතිශතය සහ ඉහළ ගොස් ඇති ඉඟටියේ ප්‍රමාණයන් සමඟ සෘජුවම සම්බන්ධ වන බවයි. ශරීරය ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හෝ ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම දෙවන වර්ගයේ දියවැඩියාව ලෙස හැඳින්වේ. පසුගිය දශකය තුළ එංගලන්තයේ තරුණ කාන්තාවන් අතර මෙම රෝගය හඳුනාගැනීම සියයට 70කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.

මේ වන විට එක්සත් රාජධානිය තුළ මිලියන පහකට අධික ජනගහනයක් දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පීඩා විඳිති. එමෙන්ම, දෙවන වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ප්‍රධානතම මරණ හේතුව පිළිකාව බව පෙර දත්ත මගින්ද පෙන්වා දී තිබේ. මෙම නව අධ්‍යයනයේ සම කර්තෘවරියක වන වෛද්‍ය ටින් ලෝබර්ග් (Dr. Tinne Laurberg) ප්‍රකාශ කළේ, දෙවන වර්ගයේ දියවැඩියාව සහිත රෝගීන් සඳහා පිළිකා නිවාරණයට ප්‍රමුඛතාවය දීමේ වැදගත්කම මෙමගින් මනාව පැහැදිලි වන බවයි. 1996 සහ 2022 යන වර්ෂ අතර කාලය තුළ දෙවන වර්ගයේ දියවැඩියාව ඇති සහ නැති ඩෙන්මාර්ක වැඩිහිටියන් සම්බන්ධයෙන් පර්යේෂකයින් විසින් මෙම නිරීක්ෂණය සිදු කර තිබේ.




කෙසේ වෙතත්, මෙම සොයාගැනීම් මගින් පෙන්වා දෙන්නේ දෙවන වර්ගයේ දියවැඩියාව සහ පිළිකාව අතර පවතින සබඳතාවයක් මිස, දියවැඩියාව මගින් පිළිකාව ඇති කරන බවට වන ස්ථිර සාක්ෂියක් නොවන බව පර්යේෂකයෝ අවධාරණය කරති. බර සහ ශාරීරික ක්‍රියාකාරකම් වැනි පිළිකා අවදානම් සාධක මෙම අධ්‍යයනයට ඇතුළත් කර නොමැති අතර, නිරීක්ෂණය කරන ලද ඇතැම් කරුණු සඳහා එම සාධක ද හේතු විය හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

(ඩේලි මේල් ඇසුරිනි)