ව්‍යාපාරවල ආයෝජනය කරන බව පවසා කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනා ලබා ඇප මත මුදාහැර සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිළිණි ප්‍රියමාලි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඇයට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාරිය විවෘත අධිකරණයේ පෙනී නොසිටීම මෙම වරෙන්තුව නිකුත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත. එසේම, සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් ලෙස අධිකරණයේ පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා සැබෑ ලෙසම ඇප තැබූ පුද්ගලයන් නොවන බව අනාවරණය වීමද මීට බලපා තිබේ. ඒ අනුව සැකකාරිය නොමැතිව නඩුව 192 පියවර යටතේ ඉදිරියට මෙහෙයවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් සත්‍ය වශයෙන්ම ඇප වූ ඇපකරුවන්ට ඉදිරි නඩු දිනයේදී අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමටද පියවර ගත්තේය.
තිළිණි ප්‍රියමාලි ඇතුළු පුද්ගලයන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති මෙම මුදල් වංචා චෝදනාවලට අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී තවත් සැකකරුවන් කිහිප දෙනෙකුම අධිකරණය මඟහැර තිබූ අතර ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පමණක් පෙනී සිට ඇත. මෙහි තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන මේ වන විට වෙනත් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව ඇයගේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී. ඊට අමතරව, මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන් එදින අධිකරණය හමුවේ පෙනී සිටි අතර, උන්වහන්සේ විසින් විදෙස් ගතවීම සඳහා කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය හිමි විය.
අදාළ නඩු විභාගයන්හි ඉදිරි කටයුතු සඳහා නඩුව ලබන නොවැම්බර් මස 17 වන දිනට කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තවද, තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති අනෙකුත් සියලුම නඩු ලබන වසරේ මාර්තු 31 වනදා යළි කැඳවීමටද අධිකරණය විසින් තවදුරටත් නියම කරනු ලැබීය.
