2026 සැප්තැම්බර් 30 වන දින ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (flydubai) ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් නගරයට හදිසි ගොඩබැස්වීමක් සිදු කර තිබේ. ගුවන් නියමුවන් දෙදෙනෙකු අතර නියමු කුටිය තුළ ඇති වූ දරුණු ගැටුමක් සහ පිහි ඇනුමක් මීට හේතු වී ඇති බව වාර්තා වේ.
FZ1073 දරණ මෙම බෝයිං 737 MAX 8 ගුවන් යානයේ මගීන් 150 ත් 180 ත් අතර ප්‍රමාණයක් ගමන් කර ඇති අතර, ඉන් බහුතරයක් ඊශ්‍රායල ජාතිකයින් වෙති. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති බවත්, එහි ගමන් කළ සියලුම මගීන් නිරුපද්‍රිතව සිටින බවත්ය.ගුවන් යානය අඩි 34,000 ක පමණ ඉහළ අහසේ ගමන් කරමින් සිටියදී සෞදි-ජෝර්දාන දේශසීමාව ආසන්නයේදී එක්වරම එහි පාලනය ගිලිහී ගොස් ඇත. රේඩාර් දත්ත වලට අනුව, තත්පර 30කටත් අඩු කාලයක් තුළ යානය අඩි 14,000 කින් පමණ අතිශය භයානක ලෙස පහළට වැටී ඇති අතර, පසුව නියමු කුටියෙන් සාමාන්‍ය හදිසි තත්ත්වයක් අඟවන 7700 කේතයත්, අනතුරුව යානය පැහැරගැනීමක් හෝ නීතිවිරෝධී මැදිහත්වීමක් අඟවන 7500 කේතයත් නිකුත් කර තිබේ. පැයක් පමණ අසාමාන්‍ය ලෙස ගමන් කළ මෙම යානය අවසානයේදී සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා ඇත. ගොඩබැස්වීමෙන් පසු ලබාගත් ඡායාරූප මගින් යානයේ පසුපස සුක්කානමට (rudder) යම් හානියක් සිදුවී ඇති බවද පෙන්නුම් කරන නමුත්, ඒ පිළිබඳව ගුවන් සමාගම මෙතෙක් අදහස් දක්වා නොමැත.
සිද්ධියට මුහුණ දුන් මගීන් පවසන ආකාරයට යානය වේගයෙන් පහළට ඇද වැටෙන අවස්ථාවේදී නියමු කුටියෙන් මහත් හඬින් කෑගසන ශබ්දයක් ඇසී තිබේ. ඉන්පසුව ඉදිරිපස අසුන්වල සිටි මගීන් නියමු කුටිය වෙත දිව ගොස් බලන විට, එක් නියමුවෙකු විසින් අනෙක් නියමුවාට සාක්කු පිහියකින් ඇන බිම හෙළාගෙන සිටින අයුරු දැක ඇත. රුධිරයෙන් වැසී ගිය ඇඳුම් සහිත මගීන්ගේ ඡායාරූපද මේ වන විට ඊශ්‍රායල මාධ්‍ය වෙත නිකුත් වී තිබේ. මගීන් කිහිපදෙනෙකු එක්ව ප්‍රහාරකයා ඉවත් කර ඇති අතර, යානයේ ගමන් කළ රාජකාරියේ නොසිටි වෙනත් ගුවන් නියමුවන් දෙදෙනෙකු එක්ව යානයේ පාලනය සියතට ගෙන ඇත. තුවාල ලැබූ නියමුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා යානයේ සිටි ඊශ්‍රායල ජාතික දන්ත වෛද්‍යවරයෙකු ප්‍රථමාධාර ලබා දී ඇති බවද වාර්තා වේ.
ටබුක් ගුවන් තොටුපළ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන නියමුවා බරපතළ තුවාල ලබා ඇති බවත්, සහායක නියමුවා සුළු තුවාල ලබා ඇති බවත්ය. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල්ගත කර තිබේ. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ද නැතහොත් නියමුවා යානය කඩා වට්ටවා සියදිවි නසාගැනීමට ගත් උත්සාහයක් ද යන්න පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක අංශ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත. නියමුවන්ගේ ජාතිකත්වය සම්බන්ධයෙන් ද පරස්පර වාර්තා පළ වන අතර, සමහර ආරංචි මාර්ග ඔවුන් රුසියානු සහ යුක්රේන ජාතිකයින් බවත්, තවත් ආරංචි මාර්ග ප්‍රහාරකයා ඕමාන් ජාතිකයෙකු බවත් පවසයි. එහෙත් ෆ්ලයිඩුබායි සමාගම හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් මේ දක්වා ඒ කිසිවක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, මගීන් නැවත ටෙල් අවිව් වෙත රැගෙන යාම සඳහා වෙනත් ගුවන් යානයක් ඩුබායි සිට පිටත් කර හැර ඇත.
