දිවයින පුරා උග්‍ර වී ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ තවත් ජාතික වනෝද්‍යාන කිහිපයක් තාවකාලිකව වසා දැමීමේ අවදානමක් නිර්මාණය වී තිබේ. වනජීවී සංචාරක ක්ෂේත්‍රය මගින් රජය ඉහළ ආදායමක් උපයමින් සිටින පසුබිමක වුවද, පවතින රශ්මියෙන් වනසතුන් සහ සංවේදී පරිසර පද්ධතිය මුදාගැනීම සඳහා යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 කලාප මේ වන විටත් වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ජාතික වනෝද්‍යාන 23න් බහුතරයක් වියළි කලාපයේ පිහිටා ඇති බැවින්, මෙවැනි දීර්ඝ කාලීන වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ ඒවා දැඩි අවදානමකට ලක්වෙයි.නිල දත්ත මගින් අනාවරණය වන පරිදි 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස හයක කාලය තුළ මෙරට වනජීවී ආකර්ෂණීය ස්ථාන හා වනෝද්‍යාන නැරඹීමට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,381,079කි. මෙයින් 759,411ක් දේශීය සංචාරකයින් වන අතර විදේශීය සංචාරකයින් 621,668 දෙනෙකු වාර්තා වී ඇත. එමෙන්ම විදේශිකයන් අතුරින් 615,022ක් සාර්ක් නොවන රටවලින්ද, 6,646ක් සාර්ක් කලාපයෙන්ද පැමිණ තිබේ. මෙම කාලසීමාව තුළ වැඩිම ආකර්ෂණය දිනාගත් යාල වනෝද්‍යානය වෙත 459,000කට වැඩි පිරිසක් පැමිණ ඇති අතර, උඩවලව වෙත 219,465ක්ද, හෝර්ටන් තැන්න වෙත 196,651ක්ද, අලි අනාථාගාරය (Elephant Transit Home) වෙත 123,273ක්ද පැමිණ ඇත.
එම මාස හයක කාලයේදී සංචාරක පැමිණීම් හරහා රුපියල් 4,279,609,307.37ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට රජයට හැකි වී තිබේ. ඉන් රුපියල් බිලියන 2.10ක ඉහළම ආදායම හිමිකරගෙන ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයයි. දෙවන ස්ථානයට වැඩිම ආදායමක් ලෙස රුපියල් මිලියන 927.5ක් උඩවලව වනෝද්‍යානයෙන් ලැබී ඇති අතර, මින්නේරියෙන් රුපියල් මිලියන 297.9ක්, හෝර්ටන් තැන්නෙන් රුපියල් මිලියන 264.3ක් සහ මිරිස්ස ආශ්‍රිත කටයුතු මගින් රුපියල් මිලියන 233.4ක් බැවින් උපයා ඇත. මුළු ආදායමෙන් විශාලතම කොටස එනම් රුපියල් බිලියන 4.06ක්ම ලැබී ඇත්තේ විදේශීය සංචාරක ගාස්තු මගිනි. ඊට අමතරව දේශීය සංචාරකයින්ගෙන් රුපියල් මිලියන 94.5ක්, සාර්ක් සංචාරකයින්ගෙන් රුපියල් මිලියන 27.5ක් සහ රථවාහන හා බෝට්ටු ගාස්තු ලෙස රුපියල් මිලියන 86.9ක් ජනනය වී තිබේ.
ජූනි මාසය පමණක් සැලකීමේදී, යාල වනෝද්‍යානය නැරඹීමට දේශීය සංචාරකයින් 26,378ක් සහ විදේශීය සංචාරකයින් 29,681ක් ඇතුළුව මුළු සංචාරකයින් 56,165 දෙනෙකු පැමිණ ඇත. එම මාසයේදී විදේශිකයන්ගෙන් පමණක් උපයා ඇති ආදායම රුපියල් මිලියන 305.27කි. කෙසේ වෙතත්, මෙලෙස ලැබෙන ඉහළ ආදායම් මැද වුවද, පවතින දැඩි වියළි කාලගුණය හමුවේ සංචාරක කටයුතු පවත්වාගනිමින් වනසතුන්ට අවශ්‍ය ජලය සහ අත්‍යවශ්‍ය සම්පත් ලබා දීම බලධාරීන්ට ප්‍රධාන අභියෝගයක් වී ඇත. කාලගුණය තවත් නරක අතට හැරී වනෝද්‍යාන තාවකාලිකව පූර්ණ ලෙස වසා දැමීමට සිදු වුවද, පරිසර පද්ධතිය සහ වනසතුන් ආරක්ෂා කිරීම තමන්ගේ ප්‍රධාන ප්‍රමුඛතාව බව නිලධාරීහු පවසති.
