ටෙස්ලා සමාගම විසින් හඳුන්වා දුන් සුක්කානමක් නොමැති 'සයිබර්කැබ්' (Cybercab) රොබෝ ටැක්සි රථ සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ වී තිබේ. පසුගිය සැප්තැම්බර් 3 වැනිදා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක මෙම විද්‍යුත් රොබෝ ටැක්සි සේවාව ආරම්භ කෙරුණි.
රන්වන් පැහැති බාහිර නිමාවකින් සහ ආකර්ෂණීය සයිබර්කැබ් නාමකරණයකින් යුත් මෙම රථය මගීන්ගේ නෙත් සිත් දිනා ගැනීමට සමත් වුවද, එහි ඇතුළත සුක්කානමක් හෝ පැඩල නොමැති වීම හේතුවෙන් හදිසි අවස්ථාවකදී මගීන්ට ක්‍රියාත්මක වීමට ඇති හැකියාව පිළිබඳව දැඩි ආරක්ෂක ගැටලු මතු වී ඇත.පුද්ගලයන් දෙදෙනෙකුට ගමන් කළ හැකි සයිබර්කැබ් රථය, ඉහළට විවෘත වන දොරවල් වලින් සහ ප්‍රතිවාදී වෙයිමෝ (Waymo) සමාගමේ රථවලට වඩා වෙනස් වූ අලංකාර සයිබර්පන්ක් (cyberpunk) නිමාවකින් සමන්විත වේ. ටෙස්ලා ප්‍රධානී ඉලොන් මස්ක් මෙය ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැබෑම ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වයි. උපරිම කාර්යක්ෂමතාවයකින් යුත් ස්වයංක්‍රීය මෙහෙයුම් සඳහාම නිපදවා ඇති මෙම රථවල තිරිංග පැඩල නොමැති වීම මගින් හයිඩ්‍රොලික් පද්ධතියේ සංකීර්ණත්වය අවම කරන බව ඔහු පවසයි. මෙය රූපවාහිනියක් සහ විශිෂ්ට ශබ්ද පද්ධතියක් සහිත සුවපහසු විවේකාගාරයක් වැනි බවත්, ඉදිරියේදී ස්ටාර්ලින්ක් (Starlink) අන්තර්ජාල පහසුකම හරහා මගීන්ට 4K ගුණාත්මකභාවයෙන් යුත් වීඩියෝ නැරඹීමට හැකිවනු ඇති බවත් පැවසේ. මීට අමතරව රථය අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීම සඳහා කැමරාවක් ද සවිකර ඇත. මෙම රථයේ ගමන් කරන අතරතුර මගීන්ට නිදාගැනීමට, චිත්‍රපට නැරඹීමට, ක්‍රීඩා කිරීමට හෝ වීඩියෝ සම්මන්ත්‍රණවලට සහභාගී වීමට හැකි බව එහි ප්‍රවර්ධන වීඩියෝ මගින් පෙන්වා දී තිබේ. මගීන්ගේ දේශගුණික සහ මාධ්‍ය සැකසුම් ඔවුන්ගේ පැතිකඩෙහි (profile) සුරැකෙන අතර ඊළඟ ගමන් සඳහාද එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.
වයස අවුරුදු 13 ට අඩු දරුවන්ට මෙම රථයේ ගමන් කිරීම තහනම් කර ඇත. හදිසි නොවන අවස්ථාවකදී ගමන නතර කිරීම සඳහා ස්පර්ශක තිරයේ ඇති බොත්තමක් හෝ ඉහළින් ඇති 'STOP' බොත්තම භාවිතා කළ හැක. හදිසි අවස්ථාවකදී රථයෙන් පිටවීම සඳහා දොරේ ඇති විශේෂ ලීවරයක් අදින්නට මගීන්ට හැකියාව ඇත. හදිසියේම තිරිංග යොදනවාට වඩා, අවට පරිසරය ගැන සැලකිලිමත් වෙමින් රථය මාර්ගය අයිනට කර නතර කරන ලෙස මෙහි පද්ධතිය නිර්මාණය කර තිබේ. එසේම රථයේ සන්නිවේදන පද්ධතිය හරහා මගීන්ට ටෙස්ලා නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට ද පුළුවන.
මෙම රථවල ආරක්ෂාව පිළිබඳව ඇමරිකාවේ ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) විසින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇත. ටෙස්ලා සමාගමේ මෙම නව රථය ෆෙඩරල් මෝටර් රථ ආරක්ෂණ ප්‍රමිතීන්ට (FMVSS) අනුකූලද යන්න මෙහිදී පරීක්ෂා කෙරේ. මීට අමතරව අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ කැමරා ක්‍රියාකාරිත්වයේ දුර්වලතා හේතුවෙන් අනතුරු වලට තුඩු දුන් බව කියන, වාහන මිලියන 3කට අධික ප්‍රමාණයක අන්තර්ගත ටෙස්ලා රථවල සම්පූර්ණ ස්වයංක්‍රීය ධාවන (FSD) විශේෂාංගය පිළිබඳව ද එම ආයතනය ඇගයීමක් සිදු කරයි. විශේෂයෙන්ම හදිසි අනතුරු අවස්ථාවන්හිදී ගිලන් රථ සහ ගිනි නිවන රථවලට බාධා වන අයුරින් මෙම ස්වයංක්‍රීය රථ හැසිරී ඇති බවට මීට පෙරද වාර්තා වී තිබූ අතර, පළමු ප්‍රතිචාර දක්වන්නන් සමඟ ආරක්ෂිතව කටයුතු කළ නොහැකි ස්වයංක්‍රීය වාහන මහජනතාවට අනතුරක් බව NHTSA ආයතනය දැඩිව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ටෙස්ලා සමාගම මීට පෙර ෆ්ලොරිඩා සහ ටෙක්සාස් හි වෙනත් නගරවලද සිය මොඩල් වයි (Model Y) රොබෝ ටැක්සි යොදවා ඇත.
රොබෝ ටැක්සි සඳහා සහය දක්වන්නන් පවසන්නේ මෙම රථ කාන්තාවන්ට සහ කතා කිරීමට අපහසු මගීන්ට වඩාත් ආරක්ෂිත විකල්පයක් වන බවයි. මානව රියදුරන්ට සාපේක්ෂව අනතුරු අවම කිරීම, බීමත් හෝ වෙහෙසට පත් රියදුරන් නිසා වන අනතුරු වැළැක්වීම සහ රෝද පුටු භාවිතා කරන හෝ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති මගීන්ට මෙය මහඟු පහසුවක් වීම ඔවුන්ගේ තර්කය වී තිබේ. එහෙත් අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීමේදී මෙම රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් අවදානමක් පවතී. මිනිසුන් විසින් මාර්ගය අවහිර කළ අවස්ථාවලදී රථය ඉදිරියට ගමන් කරගත නොහැකිව මගීන් බියට පත් වූ සිදුවීම් සහ සුළු අනතුරු පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ වීඩියෝ සහ වාර්තා පළ වී ඇත.
