the-story-of-the-driver-claiming-that-the-byd-was-racing-and-the-story-of-him-smoking-marijuana-in-the-mattakkuliya-accident-that-killed-3-video

මට්ටක්කුලිය, ෆර්ගියුසන් හන්දිය ආසන්නයේදී ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ඇතුළු වාහන 07 ක ගැටෙමින් පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවා තවත් 10 කට වැඩි පිරිසකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 52 හැවිරිදි ව්‍යාපාරික රියදුරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම මාරක රිය අනතුරින් ග්‍රෑන්ඩ්පාස් හි පදිංචි ඊ.ඒ.පී.

පැට්‍රික් (64), මට්ටක්කුලියේ පදිංචි කේ. ඒ. එස්. ජයන්ත (64) සහ ශ්‍රී වික්‍රමපුර පදිංචි එස්. චන්දසේකරන් (44) යන අය ජීවිතක්ෂයට පත් වූ අතර, තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබති.




අමතර පන්තියකට සහභාගි වී සිටි සිය දරුවා නිවසට රැගෙන ඒම සඳහා නිවසේ සිට මීටර් 400 ක් පමණ දුරින් පිහිටි මාර්ගයේ ධාවනය වෙද්දී තමන් පැදවූ නවීන BYD විදුලි මෝටර් රථය එකවරම ස්වයංක්‍රීයව අධික වේගයෙන් රේස් වී පාලනයෙන් ගිලිහී ගිය බව සැකකාර රියදුරු පොලිසිය හමුවේ පවසා ඇත. පටු මෙන්ම ජනාකීර්ණ ෆර්ගියුසන් හන්දිය ආසන්නයේදී අධික වේගයෙන් පැමිණි මෙම රථය යතුරුපැදියක සහ ත්‍රිරෝද රථයක ගැටී, ඒවා ඉදිරියට ඇදගෙන ගොස් තවත් ත්‍රිරෝද රථයක සහ යතුරුපැදියක ගැටෙමින් අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 200 ක පමණ දුරක් ඇදී ගොස් නැවතී තිබේ. මාර්ගය දෙපස සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල සටහන් වූ මෙම අනතුර සිදු වූ අවස්ථාවේදී දහසකට අධික පිරිසක් රැස්ව සිටි අතර, කුපිත වූ පිරිසගෙන් සැකකරුට හෝ වාහනයට හානි සිදුවීමට පෙර වහා ක්‍රියාත්මක වූ මට්ටක්කුලිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තත්ත්වය පාලනය කිරීමට සමත් විය.

සිද්ධියට අදාළව සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී සැකකාර රියදුරු ගංජා පානය කර සිටි බවට තහවුරු වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර, විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් එය අභියෝගයට ලක් කරමින් කියා සිටියේ තම සේවාදායකයා කිසිදිනක මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවයි. ඔහු ඇදුම සහ දියවැඩියාව සඳහා ලබාගන්නා ආයුර්වේද ඖෂධ හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයේදී මෙලෙස සටහන් වන්නට ඇති බවට නීතිඥවරු තර්ක කළ අතර, විදුලි මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂය අනතුරට හේතුව බව යළිත් අවධාරණය කළහ. සැකකරු ඇප මත මුදාහැරීමෙන් මහජන නොසන්සුන්තාවයක් ඇති විය හැකි බව පවසමින් පොලිසිය ඇප ලබාදීමට විරුද්ධ විය.




අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය සහ මෝටර් රථ පනත යටතේ මිනීමැරුම් චෝදනා, අනතුරක් වළක්වා නොගැනීම, අන්තරාදායක සහ අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු චෝදනා 05 කට වැඩි ප්‍රමාණයක් යටතේ නඩු පැවරීමට පොලිසිය පියවර ගනිමින් සිටී. මෙම මෝටර් රථයේ යම් කාර්මික හෝ තාක්ෂණික දෝෂයක් පැවැතියේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි ඉංජිනේරු විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් විශේෂඥ කමිටු පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ නියෝග ලබාගෙන ඇත.

මීට අමතරව රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට, සැකකරුගේ රුධිර සාම්පල නැවත වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට මෙන්ම විශේෂ වෛද්‍ය මණ්ඩලයක් හරහා සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳ ඇගයීමක් ලබාගැනීමට ද නියමිතය. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා සහ කොළඹ රථවාහන අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත මට්ටක්කුලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

gossiplanka image