a-20000-rupee-license-has-been-made-mandatory-for-playing-music-at-weddings-and-private-parties

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් නිකුත් කරන ලද නව රෙගුලාසි මාලාවකට අනුව, මංගල උත්සව, සාද සහ විවිධ වාණිජමය හෝ පෞද්ගලික උත්සවවලදී සංගීතය වාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කර ඇත. පසුගිය අඟහරුවාදා සිට බලාත්මක වූ මෙම නව නීතිය යටතේ සිංහල, දෙමළ සහ හිංදි ගීත වාදනය කිරීම වෙනුවෙන් නියමිත බලපත්‍ර ගාස්තු ගෙවීමට සිදුවේ.

මෙහිදී ශ්‍රී ලාංකේය සංගීත නිර්මාණ ACPOSL සංගමය මගින්ද, හිංදි සහ දෙමළ සංගීත නිර්මාණ ඉන්දියානු ප්‍රසාංගික හිමිකම් සංගමය (IPRS) මගින්ද නියෝජනය කරනු ලබයි.




මෙම රෙගුලාසි මගින් මංගල උපහාර උත්සව, පෞද්ගලික සාද, ආයතනික උත්සව, රාත්‍රී භෝජන සංග්‍රහ, සම්මාන උළෙලවල්, නිෂ්පාදන එළිදැක්වීම්, ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ, සජීවී සංගීත සංදර්ශන සහ DJ සංදර්ශන ඇතුළු සංගීතය ඇතුළත් බොහෝ උත්සව ආවරණය කෙරේ. කෙසේ වෙතත්, ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය සංගීතය පමණක් භාවිත වන උත්සව සඳහා බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන අතර, පෞද්ගලික සංගීතඥයන් හෝ DJ ශිල්පීන් සපයන යම් යම් සේවාවන් ඇතැම් අවස්ථාවලදී මෙයින් නිදහස් විය හැක. උත්සවය පැවැත්වීමට දින 14 කට පෙර හෝටලය හෝ අදාළ උත්සව සංවිධායක විසින් මෙම බලපත්‍රය ලබා ගත යුතු අතර, උත්සවයෙන් පසු වාදනය කළ සංගීතය හඳුනා ගැනීමට ප්‍රමාණවත් ශ්‍රව්‍ය පටිගත කිරීමක් (audio recording) සංගමය වෙත ලබා දීමටද කටයුතු කළ යුතුය.

සහභාගී වන පිරිස සහ උත්සවයේ ස්වභාවය මත පදනම්ව අදාළ බලපත්‍ර ගාස්තුව රුපියල් 20,000 සිට රුපියල් 125,000 දක්වා වෙනස් වේ. ඒ අනුව, පුද්ගලයන් 100ට අඩු, 100-300ත් අතර සහ 300ට වැඩි සාමාන්‍ය DJ උත්සව සඳහා පිළිවෙළින් රුපියල් 20,000ක්, 30,000ක් සහ 40,000ක් අය කෙරෙන අතර සජීවී සංගීත උත්සව සඳහා එය පිළිවෙළින් රුපියල් 25,000ක්, 35,000ක් සහ 50,000ක් වේ. පෞද්ගලික හෝ ආයතනික DJ උත්සව සඳහා රුපියල් 25,000 සිට 50,000 දක්වාද, සජීවී හෝ මිශ්‍රිත (hybrid) සංගීතය සහිත පෞද්ගලික හෝ ආයතනික උත්සව සඳහා පිළිවෙලින් රුපියල් 50,000ක්, 75,000ක් සහ 125,000ක් ලෙසද ගාස්තු නියම කර ඇත.




උත්සව මෙන්ම සුපිරි වෙළඳසැල්, සිල්ලර වෙළඳසැල්, බැංකු, මුල්‍ය ආයතන, වෙළඳ ප්‍රදර්ශනාගාර, සාප්පු සංකීර්ණ, කාර්යාල ගොඩනැගිලි සහ සිනමාහල් වැනි වාණිජ පරිශ්‍ර සඳහාද වාර්ෂික බලපත්‍රයක් නිකුත් කෙරේ. අදාළ පරිශ්‍රයේ වර්ගප්‍රමාණය සහ එය පිහිටි පළාත් පාලන බලප්‍රදේශය (මහ නගර සභාව, නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව) අනුව මෙම වාර්ෂික ගාස්තු වෙනස් වේ. මීට අමතරව මගී බස් රථ, සංචාරක ප්‍රවාහන වාහන සහ මගී දුම්රිය සඳහාද මෙම බලපත්‍ර ක්‍රමය අදාළ කර තිබේ.

මෙම පියවර බුද්ධිමය දේපළ හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් ලෙස ACPOSL සංගමයේ සභාපති නිලාර් එන්. කාසිම් පවසයි. ගායක ගායිකාවන්ට ඇගයීම් හිමි වුවද, ගීත රචකයන්ට සහ තනු නිර්මාණකරුවන්ට බොහෝ විට නිසි ඇගයීමක් හෝ ගෙවීමක් නොලැබෙන බවත්, වාණිජ උත්සවවලදී ඔවුන්ගේ නිර්මාණ භාවිත වන විට නිසි කතෘභාගය (royalty) ලබා දීම මෙම රෙගුලාසිවල ප්‍රධාන අරමුණ බවත් ඔහු සඳහන් කළේය.



කෙසේ වෙතත්, මෙම නව රෙගුලාසි සම්බන්ධයෙන් හෝටල් ක්ෂේත්‍රයෙන් දැඩි විරෝධයක් මතුව තිබේ. ශ්‍රී ලංකා හෝටල් සංගමයේ (THASL) සභාපති අශෝක හෙට්ටිගොඩ මහතා සඳහන් කළේ මෙය අධික සහ අසාධාරණ බරක් බවයි. මෙවැනි අතිරේක මුල්‍ය බරක් හේතුවෙන් හෝටල් පරිශ්‍ර තුළ සිංහල සංගීතය වාදනය කිරීම පවා නැවතීමට ඉඩ ඇති බවත්, එය ශ්‍රී ලාංකේය සංස්කෘතිය අත්විඳීමට පැමිණෙන සංචාරකයන් අතර සිංහල සංගීතයේ ජනප්‍රියතාවයට හානි කරමින් සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපෑ හැකි බවත් ඔහු පෙන්වා දෙයි. මේ පිළිබඳව වැඩිදුර උපදෙස් ලබා ගැනීමට හෝටල් සංගමය සංචාරක අමාත්‍යාංශය වෙත යොමු වී ඇත.