
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය. ඊයේ (24) සහ අද දෙදින පුරා පැවැති දීර්ඝ විවාදයකින් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී, 22 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව විශේෂ බහුතරයකින් සම්මත විය.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර ඊට එරෙහිව ලැබුණේ ඡන්ද 63ක් පමණි. කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැළකී නොසිටි අතර, ඒ අනුව වැඩි ඡන්ද 95කින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය.මෙලෙස බලාත්මක වූ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට අධිකරණ පද්ධතියේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාවන් ඉහළ නංවා ඇත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නංවා තිබේ. මීට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වන වගන්තිය සංශෝධනය කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇත. ප්‍රාදේශීය වශයෙන් අභියාචනාධිකරණ ස්ථාපිත කිරීම හරහා විභාග වීමට ඇති නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ නඩුවලට සම්බන්ධ පාර්ශ්වකරුවන්ට කොළඹට පැමිණීමට සිදුවන අපහසුතාව අවම කිරීම මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණයි.
එමෙන්ම පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වී තිබේ. මෙම නව පනත යටතේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 62 දක්වාත් දීර්ඝ කෙරේ. අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තියට සිදු කළ සංශෝධන මගින් අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි, මහාධිකරණ විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන සලසා ඇත.
