
බුද්ධශාසන අමාත්‍යාංශයේ පොත් මුද්‍රණය කිරීමේදී නිසි රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර රුපියල් හතළිස් හත් ලක්ෂ අනූ දහසක (රු. 4,790,000) මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා ලැබූ එම අමාත්‍යාංශයේ හිටපු ලේකම් කමල් බණ්ඩාර දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර හිටපු ලේකම්වරයා විසින් තමාට හිතවත් පෞද්ගලික ආයතනයක් වෙත අවස්ථා තුනකදී මෙම පොත් මුද්‍රණ කටයුතු පවරා දී ඇති බවයි.
එලෙස මුද්‍රණය කරන ලද පොත් තොගය අමාත්‍යාංශයේ නිල ගබඩාව වෙත භාරගැනීමකින් තොරවම ඊට අදාළ සම්පූර්ණ මුදල් ගෙවීමට ද මොහු කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත.
රජයට මූල්‍යමය අලාභයක් සිදුකරමින් අදාළ හිතවත් සමාගමට අයුතු සහගත ලෙස වාසි සැලසීම මඟින් දූෂණය නමැති වරද සිදුකළ බවට හිටපු ලේකම්වරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
