the-missing-driver-fled-leaving-only-the-official-vehicle-behind

රාජ්‍ය කඩදාසි සංස්ථාවේ සභාපතිවරයාගේ නිල කැබ් රථය සහ රියදුරු අතුරුදහන් වීමේ සිද්ධියට අදාළව, දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි අදාළ රියදුරා ඊයේ දිනයේදී නිල රථය පමණක් අතහැර පලා ගොස් ඇති බව වැල්ලවත්ත පොලීසිය පවසයි. මෙලෙස පලාගොස් ඇත්තේ රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි වියෙහි පසුවන රියදුරෙකි.




ඉකුත් 21 වැනිදා කොළඹ 06, ස්ටැෆර්ඩ් පාරේ පිහිටි සංස්ථා ප්‍රධාන කාර්යාලයේ සිට කඩවත පිහිටි සභාපතිවරයාගේ නිවස වෙත අදාළ රියදුරා පිටත්ව ගොස් ඇත්තේ සභාපතිවරයාව කාර්යාලය වෙත කැඳවාගෙන ඒම සඳහාය. කෙසේ වෙතත් නියමිත වේලාවට රථය පැමිණ නොමැති අතර, ඒ පිළිබඳව සභාපතිවරයා කළ විමසීමකදී වාහනයේ ඉන්ධන කාන්දුවක් පවතින බව රියදුරා පවසා ඇත. පසුව සභාපතිවරයාගේ උපදෙස් මත කඩවත ප්‍රදේශයේ අලුත්වැඩියා ස්ථානයකට රථය යොමු කළද, එහි කිසිදු දෝෂයක් නොමැති බව කාර්මිකයන් ප්‍රකාශ කර තිබේ.

එදින පස්වරු 4.00 වන තෙක්ම රියදුරා නැවත කාර්යාලය වෙත පැමිණ නොමැති අතර, පසුව ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි. මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් කඩදාසි සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාර සමන් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා විසින් වැල්ලවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.




අතහැර දමා ගිය කැබ් රථය සොයාගෙන ඇති අතර, පලාගිය රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වී. ගනේවත්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි. සැකකරු සොයා දුරකථන විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කරමින් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

the-missing-driver-fled-leaving-only-the-official-vehicle-behind