සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද සටහනක් හේතුවෙන් සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාසා නමැති තරුණයාගේ ජීවිතය ගලවාගැනීමේ විශේෂ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම යන මහත්වරුන් නිල වශයෙන් එක්ව සිටිති. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන්ගේ සෘජු මැදිහත්වීම මත ක්‍රියාත්මක වන මෙම ගමන සඳහා රජයේ ප්‍රතිපාදන ලබා නොගෙන, තම පෞද්ගලික ධනය වැය කිරීමට මෙම ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉල්ලමින් විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දූතයන් ලෙස මෙම නීතිඥවරුන් දෙපළ සවුදි අරාබිය බලා පිටත් කර යැවීමට රජය පසුගිය සැප්තැම්බර් 22 වැනිදා තීරණය කළේය. මෙම තීරණය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ නිල වශයෙන් කරුණු අනාවරණය කරනු ලැබීය.
මෙම තීරණාත්මක මෙහෙයුමේ පළමු පියවර ලෙස ක්‍රියාත්මක වූ ජනාධිපති නීතිඥවරුන් දෙපළ, ශ්‍රී ලංකාවේ සමීප මිතුරකු වන මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පසුගිය 23 වැනිදා දහවල් මාලදිවයිනේදී හමුවී අදාළ ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. මාලදිවයිනේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයා වන නෂීඩ් මහතා ජාත්‍යන්තරය තුළ සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රකට දේශපාලනඥයකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි.
එම සාකච්ඡාවේදී අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා සඳහන් කර ඇත්තේ අනෝජන් විසින් කරන ලද ප්‍රකාශය මුස්ලිම් සමාජය හමුවේ බරපතළ එකක් වුවද, අසරණ තරුණයකුගේ ජීවිතය වෙනුවෙන් මානුෂීය පදනමින් පෙනී සිටීමට තමන් සූදානම් බවයි. ඒ අනුව මෙම අසරණ තරුණයාගේ ජීවිතය ගලවාගැනීමේ ක්‍රියාදාමය සඳහා තමන්ට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා එහිදී සහතික වී තිබේ.
මාලදිවයිනේදී පැවැති මෙම සාකච්ඡාව ඉතා සාර්ථක අයුරින් අවසන් වූ බව තහවුරු කළ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා, ඉදිරි දින කිහිපය තුළ අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් පෙනී සිටීමට සවුදි අරාබිය බලා පිටත්ව යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.
