
ලෝක ශූර හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණෙන අතරතුර ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ අලාභහානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා බලධාරීන් ටර්කිෂ් එයාර්ලයින්ස් (Turkish Airlines) ගුවන් සමාගමෙන් කරුණු විමසා ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ හංගේරියාවේ පැවැති මංගල ලෝක මලල ක්‍රීඩා ‘අල්ටිමේට්’ ශූරතාවලිය ඉරිදා දිනයේ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව බුඩාපෙස්ට් නුවර සිට නැවත ශ්‍රී ලංකාව බලා පැමිණි ගුවන් යානය තුළදී මෙලෙස ඔහුගේ තරගකාරී හෙල්ල පහම හානියට පත්ව ඇත.
එළඹෙන සැප්තැම්බර් 19 වනදා ආරම්භ වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඔහු නිරත වෙමින් සිටි පුහුණුවීම් සහ සූදානමට මෙම සිදුවීම දැඩි බාධාවක් වී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් සහ අදාළ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයේදී ඊයේ දිනයේදී ටර්කිෂ් එයාර්ලයින්ස් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් පැවැත්විණි. වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් කප්පිත්ත දමින්ද රම්බුක්වැල්ල සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති (විශ්‍රාමික) කර්නල් රංජිත් රාජසිංහ යන මහත්වරු එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවේදී රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ අලාභහානිය පිළිබඳව ටර්කිෂ් එයාර්ලයින්ස් නියෝජිතයෝ සිය කණගාටුව පළ කළහ. සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා සිදුවූ හානියේ සම්පූර්ණ ප්‍රමාණය තක්සේරු කිරීමට ද ගුවන් සමාගම් නියෝජිතයෝ මෙහිදී එකඟ වූහ. අදාළ තක්සේරු කිරීමෙන් පසු ක්‍රීඩකයාට සිදුවූ අලාභය වෙනුවෙන් අවශ්‍ය වන්දි ලබා දීමට පියවර ගන්නා බව ටර්කිෂ් එයාර්ලයින්ස් සමාගම ප්‍රකාශ කළ බව නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
