
කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකට අයත් දෙමහල් නිවසකට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සහිත සේප්පුවක් සොරාගත් ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු දින පහක් වැනි කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලිසිය සමත් වී තිබේ.
මෙම සොරකම සිදුව ඇත්තේ වැල්ලවත්ත කවිරත්න පෙදෙසේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතාගේ සහෝදරියක වන ෆයිසා මරික්කාර් නැමැති නීතිඥවරියගේ නිවසේය. ඇයගේ නිවසේ උඩුමහලේ කාමරයක පිහිටි අල්මාරියක් තුළ බහා තිබූ මෙම සේප්පුවේ පවුම් තිස්නවහමාරකට අධික බරකින් යුත් රන් භාණ්ඩ තොගයක් තිබී ඇති අතර, මේ සම්බන්ධයෙන් ඉකුත් 24 වැනිදා පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් අවට සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ පුළුල් විමර්ශනවලදී, සැකකරු විසින් අදාළ සේප්පුව ඇඳ ඇතිරිල්ලකින් ආවරණය කර සිය කර මත තබාගෙන යන ආකාරය හඳුනාගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැල්ලවත්ත කළ්‍යාණි පාරේ නිවසක සැඟව සිටියදී ප්‍රධාන සැකකරු සහ ඔහුට සහාය දැක්වූ ත්‍රීරෝද රථ රියදුරෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ "වැල්ලවත්තේ උබයා" නමින් හැඳින්වෙන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන අතර, ඔහු වෙනත් අපරාධ චෝදනා රැසකට බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට පමණ පෙර ඇප මත නිදහස්ව පැමිණි අයෙකු බව පොලිසිය තහවුරු කර ඇත. ඔහු සන්තකයේ තිබී සොරාගත් රන් භාණ්ඩවලින් පවුම් තිහක පමණ ප්‍රමාණයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13,180ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු විසින් නිවසේ පිටුපස තාප්පයෙන් උඩුමහලට නැග එහි විවෘතව තිබූ දොරකින් ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. ඉන්පසුව ඔහු බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසකට සේප්පුව රැගෙන ගොස් එය කඩා, රන් භාණ්ඩවලින් කොටසක් එම ප්‍රදේශයේම වෙළෙඳසැලකට උකස් කර හා තවත් කොටසක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ අයෙකුට අලෙවි කර එම මුදල්වලින් මත්ද්‍රව්‍ය පානය කර තිබේ.
ඊට අමතරව එම මුදල්වලින් සැකකරු ඇඳුම් පැලඳුම් මිලදීගෙන ඇති අතර, රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් සිය පෞද්ගලික බැංකු ගිණුමකටද බැර කර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් හෙළි වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
