
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් තමන් අධිකරණයට අපහාස කළ බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් කර ඇති නිගමනය බලරහිත කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (30) තීරණය කර තිබේ. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.
මන්ත්‍රීවරයා මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණේ, ඔහු විසින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී කරන ලදැයි කියන ප්‍රකාශයක් හරහා බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නිගමනය කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට යොමු කළ කරුණු වාර්තා කිරීම අභියෝගයට ලක් කරමිනි.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන මහත්වරුන් හයදෙනා වෙත චෝදනා එල්ල වී ඇත. ජූලි 7 වනදා සිට 15 වනදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහයේදී මොවුන් විසින් සිදුකරන ලදැයි කියන ඇතැම් ප්‍රකාශ අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන ස්වරූපයක් ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබූ අතර, ඒ පිළිබඳ කරුණු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර තිබිණි.
මීට පෙර අවස්ථාවකදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි පෙන්වා දී තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ අසම්පූර්ණ තොරතුරු මත පදනම්ව මෙම යොමු කිරීම සිදු කර ඇති බවත්, අදාළ සාකච්ඡාවේදී විවේචනයට ලක් වූයේ රහස් පොලිසියේ ක්‍රියාකලාපය මිස අධිකරණයට අපහාස කිරීමේ කිසිදු චේතනාවක් එහි අන්තර්ගත නොවූ බවත්ය.
මෙම අධිකරණ ක්‍රියාවලියේ මූලාරම්භය සිදුවන්නේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජූලි 7 සිට 15 දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයේදී ප්‍රකාශ වූ අදහස් මුල් කරගනිමිනි. අදාළ නඩුව විභාග වෙමින් පවතින අතරතුර අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අන්දමින් අදහස් දැක්වීම හරහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන හයදෙනා අධිකරණයට අපහාස කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට වාර්තා කර තිබුණි.
මේ අනුව දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායම අධිකරණ අපහාස චෝදනාවට ලක්විමට බොහෝ දුරට ඉඩ තිබේ.
