magistrate-sells-name-and-steals-100000-rupees-from-luxury-hotel

වේයන්ගොඩ, නයිවල සුපිරි හෝටලයක මහේස්ත්‍රාත්වරයකු ලෙස පෙනී සිටිමින් කාමරයක් කුලියට ගෙන නැවතී සිට රුපියල් 89,000ක ආහාර පාන ලබාගෙන මුදල් නොගෙවා පලා යෑමට තැත් කළ බව කියන පුද්ගලයකු ඇතුළු සිවු දෙනකු ඊයේ (29) උදෑසන අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. අත්අඩංගුවට ගැනීම සිදු වූයේ රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරියකුගෙන් ලද තොරතුරකට අනුවය.




ඇඹිලිපිටිය කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මහේස්ත්‍රාත්වරයකු ලෙස පෙනී සිටිමින් ඉකුත් 27 වැනිදා පස්වරුවේ තවත් දෙදෙනකු සමඟ මෝටර් රථයකින් එම හෝටලයට පැමිණ දින දෙකකට කාමරයක් ලබාගෙන ඇත. එහි නැවතී සිටියදී මත්පැන් පානය කරමින් ආහාර ලබාගත් පිරිස රුපියල් 89,000ක බිල නොගෙවා පලා යෑමට උත්සාහ කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන වැඩමුළුවකට සහභාගි වීමට පැමිණි බව පවසමින් ඔවුන් දින දෙකකට කාමරය වෙන් කරවාගෙන ඇත. අත්තනගල්ල රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරියකුට ලද තොරතුරකට අනුව වේයන්ගොඩ ප්‍රධාන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් හෝටලය වටලා සැකකරුවන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.




ඔවුන් පැමිණි වාහනය හෝටලය තුළ නවතා තබා කුලී වාහනයක් ගෙන්වා පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ හෝටල් පාලනාධිකාරියට සැකයක් ඇති වී ඇති අතර, ඒ බව රාජ්‍ය බුද්ධි නිලධාරියාට දැනුම් දී ඇත. සැකකරුවන් පැමිණි වාහනය කුලී පදනම මත වාහන ලබා දෙන ස්ථානයකින් ලබාගත් එකක් බවත්, මහේස්ත්‍රාත්වරයා ලෙස පෙනී සිටි පුද්ගලයා දිවයිනේ විවිධ අපරාධ 18කට සම්බන්ධ අයකු බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනාගෙන් එක් අයකු එම පුද්ගලයාගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටි කහවන්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය කියයි. අනෙකා ඔවුන් පැමිණි වාහනයේ රියැදුරු වන අතර, ඔහු උනාකූරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිව්වැනි පුද්ගලයා පලා යෑම සඳහා ගෙන්වා ගත් කුලී වාහනයේ රියැදුරු වන අතර, ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



මෙලෙස රට පුරා සංචාරය කරමින් විවිධ අපරාධ හා වංචා සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති. පරීක්ෂණ අවසන් වීමෙන් පසු සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.