
2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව, මඩකලපුව හා දෙහිවල ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේය. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පුරා වසර හයකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම වරදකරුවන්ගේ සියලුම නිශ්චල සහ චංචල දේපළ රාජසන්තක කිරීමට ද නියෝග කෙරිණි.පැමිණිලි පාර්ශ්වයේ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීමෙන් පසු, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්), හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා) සහ කච්චි මොහොමඩ් ජෙස්මින් යන අයට වසර 200 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම විය. එසේම මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබූ ෆුර්කාන්), මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්) සහ රසික් රාසා හුසේන් යන අයට වසර 220 බැගින් ද, මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්) හෙවත් ගෆූර් මාමා, හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්) සහ මොහොමඩ් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබු ෆලා) යන අයට වසර 240 බැගින් ද සිර දඬුවම් නියම වූ අතර, අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස් නමැත්තාට වසර 260 ක සිර දඬුවමක් නියම කෙරිණි.
ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්), මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබු මොහොමඩ්), රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා), අමීන් අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර්දීන් හිල්මි සහ මොහොමඩ් අක්‍රම් අහක්කම් යන විත්තිකරුවන් නවදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය. 17 වන විත්තිකරු වූ යාසින් බාවා අබ්දුල් රවුෆ් නඩු විභාගය අතරතුර බන්ධනාගාරයේදී මියගොස් තිබිණි. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 547 දෙනෙකුගේ සාක්ෂි සහ විත්ති වාචක විමසා අවසන් කළ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණික දෝෂයක් නිසා පැමිණි ප්‍රමාදය පිළිබඳව අධිකරණය කනගාටුව පළ කළේය.
තීන්දුව පැහැදිලි කරමින් සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ 267 දෙනෙකුට මරු කැඳවමින් 574 දෙනෙකුට තුවාල සිදුකළ මෙම මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා විසින් ජූරි සභාවකින් තොරව පත්කරන ලද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විමර්ශන වාර්තා සලකා බලමින් විභාගය පැවැත්වූ බවයි. තුවාලකරුවන්, මියගිය අයගේ ඥාතීන්, හෝටල් සේවකයන්, ඇසින් දුටුවන්, විමර්ශන නිලධාරීන්, රස පරීක්ෂකයන්, වෛද්‍යවරුන් සහ වෝහාරික දත්ත විශ්ලේෂකයන් ඇතුළු පිරිසක් සාක්ෂි දුන් අතර ඇතැම් සාක්ෂි කටුවපිටිය ප්‍රජා ශාලාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ලබාගන්නා ලදී. නුවරඑළිය ආදී ස්ථානවල පවත්වන ලද වැඩමුළුවලදී සහරාන් විසින් පිරිස් වෙන්කළ ආකාරයත්, ඉස්ලාම් දහමේ ජිහාද් සංකල්පය වැරදි ලෙස අර්ථකථනය කරමින් යුදමය මුහුණුවරක් ලබාදුන් ආකාරයත් නඩු විභාගයේදී තහවුරු විය.
විත්තිකරුවන් පානදුර, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට සහ සයින්දමර්දු යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසවලින් විශාල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් හමු වූ අතර ප්‍රහාරයට පෙර නැගෙනහිර පළාතේදී යතුරුපැදියක් පුපුරුවා අත්හදා බැලීමක් සිදුකර තිබිණි. එහිදී තුවාල ලැබූ මිල්හාන් නැමැත්තා කිලෝමීටර් 300 ක් දුරින් පිහිටි කොළඹ ජාතික රෝහලට වෙනත් නමකින් ඇතුළත් කර ගෑස් ටැංකියක් පිපිරුණු බවට අසත්‍ය පවසා තිබිණි. එමෙන්ම, සයින්දමරුදුහිදී සොයාගත් පෙන් ඩ්‍රයිව් එකක ස්පෑන් ටවර් ගොඩනැගිල්ලේදී සහරාන් විසින් අයි.එස්. ධජය ඉදිරිපිට සිට අවි ප්‍රදර්ශනය කරමින්, නවසීලන්ත ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දෙන ලෙස සහ "සිනා සිසී බෝම්බ අරගෙන එනවා" යැයි කියමින් අල් බග්දාදී වෙත ප්‍රතිඥා දුන් අවසන් දේශනයේ වීඩියෝව හමු වී තිබිණි. සනස්දීන්ගේ නිවසින් බූන්දි හෝ මස්කට් වෙනුවට පුපුරණ ද්‍රව්‍ය සහ යකඩ බෝල හමු වීම නිසා ඔහුගේ විත්ති වාචකය ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
දඬුවම් නියම කිරීමට පෙර විමසූ අවස්ථාවේදී නව්ෆර් මවුලවි දමිළ භාෂාවෙන් සඳහන් කළේ, "ස්වාමීනි, මම කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. ඉස්ලාම් ආගමික නියමයන්ට අනුව ඉහළ බලධාරීන්ගෙන් සහන පැතීම සුදුසු ක්‍රියාවක් නෙවෙයි. ඒ නිසා මා කිසිවක් ඉල්ලන්නේ නැහැ. අධිකරණයට සුදුසු දෙයක් කරන්න." යනුවෙනි. මොහොමඩ් ඊබ්‍රහම් සාදික් අබ්දුල්ලා ප්‍රකාශ කළේ, "ස්වාමීනී... මම සතුටු වෙනවා. අප සමග සිටි විත්තිකරුවන් නව දෙනෙකු නිදහස් වී යාම ගැන තවත් සතුටු වෙනවා. මම වසර හතහමාරක් පමණ බන්ධනාගාරගතව සිටිනවා. බන්ධනාගාරගත කළාම මා ජීවත් වන්නේ රජයේ වියදමින්. ඒ බන්ධනාගාර ජීවිතය මා ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්නවා. ඒකෙන් වාසිය සැලසෙන්නේ මට විතරයි. නමුත් මාව එළියට යවලා තිබ්බොත් මගේ නිවැසියන්ටත්, රටටත් පවුලටත් ප්‍රයෝජනයක් ඇති වෙයි. මා වරදක් කරලා නැහැ. නමුත් මා අනාගතය ගැන විශ්වාස කරනවා. අනාගතයේදී දෙවියන් වහන්සේ මේ වරද කළ අයට දඬුවම් කරාවි. එම වෙලාවේ මා වරදක් කරලා නැත්නම් මාව නිදහස් කරාවි. අධිකරණය මේ දඬුවම ලබා දුන්නත් මම ඊට එකඟ වන්නේ නැහැ." යනුවෙනි.
තවත් විත්තිකරුවෙකු වූ මොහොමඩ් ඊබ්‍රහම් අබ්දුල් හක් කියා සිටියේ, "ස්වාමීනී, මම වසර හතහමාරක් පමණ බන්ධනාගාරගතව සිටිනවා. මම මේ තීන්දුවට එකඟ වන්නේ නෑ. ටික දෙනෙකුට හරි දඬුවම් පැමිණවිය යුතු තත්ත්වයකට විනිසුරුවරු පත්ව තිබෙනවා. මේක දේශපාලන පසුබිමක් සහිත සංකීර්ණ නඩුවක්. මුළු රටම බලාගෙන ඉන්නවා. පිටරටවලුත් බලාගෙන ඉන්නවා. ඒ නිසා ටික දෙනෙකුට හරි දඬුවම් කළ යුතු තත්ත්වයකට විනිසුරුවරු පත්ව තිබෙනවා. මම මේ තීන්දුවට එකඟ වන්නේ නෑ." යනුවෙනි. මොහොමඩ් අස්වර් මොහොමඩ් රිස්කාන් පැවසුවේ, "ස්වාමීනී... මම හරි සතුටින් ඉන්නේ. නමුත් ඔබතුමාලට එහෙම සතුටු වෙන්න බැහැ. ඔබතුමාලා විශාල පීඩනයකින් ඉන්න බව පේනවා. මම වරදක් කරලා නෑ. මම මේ ප්‍රහාරයට සම්බන්ධ නැහැ. නමුත් අපිව මේකට යොමු වෙලා තියෙනවා. මේවට සම්බන්ධ කට්ටිය නිදැල්ලේ ඉන්නවා. නිදැල්ලේ හිටියට එයාලත් ලොකු කම්පනයකින් ඇත්තේ. ඒ නිසා නිදැල්ලේ ඉන්න අයටත් දඬුවම් දිය යුතුයි. අපි සමග සිටින නව දෙනෙකු නිදහස්ව ගියා. අප සියලු දෙනාම මෙතෙක් කල් හිටියේ සහෝදරයින් වගේ. ඔවුන් නිදහස් වීම ගැන සතුටු වෙනවා. අපි මේ වෙලාවේ ඉන්නේ සතුටින්. ඒක තමයි අපි ලබපු ජයග්‍රහණය." යනුවෙනි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිල් මද්දුමගේ අධිකරණය හමුවේ පැවසුවේ, "ස්වාමීනි... මගේ සේවාදායකයින් වරදකරුවන් කර තිබෙන්නේ කුමන්ත්‍රණය සහ ආධාර අනුබලදීමේ චෝදනාවලටයි. නමුත් ඔවුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ බවට සාක්ෂි නඩු විභාගයේදී ඉදිරිපත් වුණේ නෑ. මගේ සේවාදායකයින් යුක්තිය ඉටු කිරීමට බාධා කළේ නෑ. ඔවුන් නඩු විභාගයට සහභාගි වුණා. ශ්‍රී ලංකාවේ දඬුවම් දීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් නෑ. යම් පුද්ගලයෙකු සිරගත කරනවාට වඩා වටිනවා එම පුද්ගලයා පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීම." යනුවෙනි.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා සහ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමග පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ හරිප්‍රියා ජයසුන්දර ප්‍රකාශ කළේ, "මේ නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි අප තුළ විශාල කම්පනයක් ඇති කළා. අමානුෂික ඝාතන මෙන්ම වධ හිංසා පිළිබඳ තොරතුරු මේ සාක්ෂිවලින් අනාවරණය වුණා. මෙම විත්තිකරුවන්ගේ ක්‍රියාකාරකම්වලින් සිදුවී තිබෙන්නේ, ක්‍රෝධය හා වෛරය ව්‍යාප්ත කිරීම. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ, අන්‍යාගමිකයින් ඝාතනය කිරීම. මේවා වෙන්න ඉඩ හරින්න පුළුවන් ද? අනිත් අය මෙම විත්තිකරුවන් අදහන ආගම අනුගමනය නොකිරීම වරදක් ද? අන්‍යාගමිකයින් ඝාතනය කිරීම තමයි මේ විත්තිකරුවන්ගේ අරමුණ." යනුවෙනි.
ඇය වැඩිදුරටත් අවධාරණය කළේ, "මේ සිද්ධියේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 267 දෙනෙකු මිය ගියා. තවත් 574 තුවාල ලැබුවා. මේ අපරාධ සිදුණේ කිතුනුවන්ගේ ආගමික ශාස්තෲවරයාණන් වූ ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වූ දිනයේ. ඉතා සුළු පිරිසකගේ අන්තවාදී මානුෂික ක්‍රියාකාරකම් හේතුවෙන් එම පූජනීය දවසේ මුළු රටේම විලාපයක් ඇති වුණා. අවසානයේදී ඔවුන් ජය ගත්තා." යනුවෙනි. ගෆූර් මාමාගෙන් සොයාගත් රිවෝල්වරය වව්නතිවුහිදී ඝාතනය වූ පොලිස් නිලධාරීන්ගේ බව හෙළි වූ බවත්, මහ බැංකු බෝම්බ ප්‍රහාර නඩුවේ තීන්දුව මෙන් මෙවැනි භයානක විත්තිකරුවන් සමාජයෙන් දුරස් කර තැබිය යුතු බවත් පෙන්වා දුන් ඇය, රටේ ආර්ථිකයට හා සංචාරක කර්මාන්තයට සිදුවූ හානිය ද සලකා උපරිම දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියාය. සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
