investigations-reopen-into-disha-who-died-a-week-before-rajput

බොලිවුඩ් රංගන ශිල්පී සුෂාන්ත් සිං රාජ්පුත්ගේ හිටපු කළමනාකාරිනියක වූ දිශා සාලියන්ගේ මරණය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ පවත්වන ලෙස බොම්බේ මහා අධිකරණය ඉන්දියාවේ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශයට (CBI) නියෝග කර තිබේ. වසර හයකට පෙර සිදු වූ මෙම සිදුවීම සියදිවි නසාගැනීමක් හෝ අනතුරක් නොවන බවත්, එය සමූහ දූෂණය කර සිදු කළ ඝාතනයක් බවත් පවසමින් ඇගේ පියා වන සතීශ් සාලියන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම තීරණයට එළඹ ඇත.




2020 ජූනි මස මුල් සතියේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පැවති සමයේ, 28 හැවිරිදි දිශා සාලියන් සිය ප්‍රචාරක කටයුත්තක් සඳහා ගමන් කිරීමට අවසර ඇත්දැයි විමසීමට පියා ලවා පොලිසියට ඇමතුමක් ලබා දී තිබිණි. තමාට ලැබුණු අත්තිකාරම් මුදල් පිළිබඳවද මව්පියන්ට පෙන්වූ ඇය දින දෙකකින් ආපසු එන බව පවසා නිවසින් පිටව ගියද, ජූනි 8 වනදා සහ 9 වනදා අතර රාත්‍රියේ ඇය මියගොස් ඇති බවට පියාට පොලිසියෙන් දැනුම් දෙන ලදී. මුම්බායි හි ගොඩනැගිල්ලක 12 වන මහලෙන් ඇය ඇද වැටී ඇති බවත්, මත්පැන් පානය කර සිටි නිසා එය අනතුරක් ලෙස සිදු වූවක් බවත් ඇගේ මිතුරන් ප්‍රකාශ කර තිබූ අතර පසුව පොලිසිය නිගමනය කළේ එය සියදිවි නසාගැනීමක් බවයි.

කෙසේ වෙතත්, පෙත්සම සලකා බැලූ සාරං වී කොට්වාල් සහ රංජිත්සිංහ රාජා භොන්ස්ලේ යන විනිසුරුවරුන් පෙන්වා දුන්නේ වසර හයකට වැඩි කාලයක් පුරා අදියර දෙකකින් පැවැත්වූ පොලිස් පරීක්ෂණවල දැඩි පරස්පරතාවයන් පවතින බවයි. සිරුර වැටී තිබූ ස්ථානයේ ලේ පැල්ලම් නොතිබීම, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් තුවාල උසින් වැටීමකට නොගැළපීම සහ පොලිස් ලේඛන ප්‍රමාද වීම පිළිබඳව අධිකරණය ප්‍රශ්න කළේය. එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් මුල සිටම මුදල් පොතේ අපරාධ තොරතුරු වාර්තාවක් (FIR) සටහන් නොකර සැකකටයුතු මරණයක් ලෙස පමණක් විමර්ශනය කිරීමද අධිකරණයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය.




සතීශ් සාලියන්ගේ පැමිණිල්ලකට අනුව මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය මේ වන විට නව FIR වාර්තාවක් ලියාපදිංචි කර ඇත. ක්වාන් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සේවය කළ දිශා, හිටපු අමාත්‍යවරයෙකු සහ තවත් කිහිපදෙනෙකු සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්, ළමා අපචාර ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු දැනගෙන ඇති අතර එම තොරතුරු සුෂාන්ත් සිං රාජ්පුත් වෙත ලබා දී තිබේ. මෙම තොරතුරු මාධ්‍ය හමුවක් හරහා අනාවරණය කිරීමට ඔවුන් සූදානම් වූ බැවින්, අදාළ බලප්‍රදේශයේ ප්‍රබලයින් ආරක්ෂා කිරීම සඳහා මෙම සැලසුම් සහගත අපරාධය සිදුකර සාක්ෂි විනාශ කර ඇති බවට ඇගේ පියා චෝදනා කරයි.

දිශාගේ මරණයෙන් සතියකටත් අඩු කාලයකදී නළු සුෂාන්ත් සිං රාජ්පුත් ද සිය නිවසේ මියගොස් සිටියදී හමු වූ අතර, එම මරණයද සියදිවි නසාගැනීමක් ලෙස පොලිසිය නිගමනය කළේය. සුෂාන්ත්ගේ පෙම්වතිය වූ රියා චක්‍රබෝර්ති අත්අඩංගුවට ගනු ලැබුවද, පසුව CBI විමර්ශනවලදී ඇයට හෝ ඇගේ පවුලේ අයට ඊට සම්බන්ධයක් නැති බව හෙළි වී පසුගිය වසරේදී එම නඩුව අවසන් කෙරිණි. කෙසේ වෙතත් දිශාගේ පියා පවසන්නේ මෙම මරණ දෙකම එකිනෙකට සම්බන්ධ බවයි.



මෙම නව FIR වාර්තාව ලියාපදිංචි කිරීම මගින් කිසිවෙකු වරදකරුවන් ලෙස තීරණය නොකරන බවත්, ප්‍රමාණවත් සාක්ෂි ලැබෙන තෙක් කිසිවෙකු සැකකරුවෙකු ලෙස නොසලකන බවත් අධිකරණය තීන්දුවේ සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ බොලිවුඩ් නළුවන්ගේ නම් මේ හා බැඳී පැවතීම හේතුවෙන් දේශපාලනමය විවේචන සහ චෝදනා මැද මෙම සිදුවීම නැවතත් ඉන්දියාවේ ප්‍රධාන පුවතක් බවට පත්ව තිබේ.

investigations-reopen-into-disha-who-died-a-week-before-rajput

investigations-reopen-into-disha-who-died-a-week-before-rajput

investigations-reopen-into-disha-who-died-a-week-before-rajput