ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේදී හෙල්ල විසිකිරීමේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකර දීමට ක්‍රීඩක රුමේෂ් පතිරගේ සමත් විය. අද (28) සුළු වැසි සහිත කාලගුණයක් මධ්‍යයේ පැවති මෙම තරගයේදී ඔහු මීටර් 88.55ක දුරක් වාර්තා කරමින් පළමු ස්ථානයට පත්වීමට සමත් ව තිබේ.
තරගයේ රිදී පදක්කම හිමිකර ගත්තේ මීටර් 85.72ක දක්ෂතාවයක් දැක්වූ ඉන්දියාවේ යශ්විර් සිං විසින් වන අතර, එහි ලෝකඩ පදක්කම මීටර් 84.35ක දුරක් වාර්තා කළ ඉන්දියාවේම රෝහිත් යාදව්ට හිමි වුණි. පසුගිය ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් ලාභී පාකිස්තානයේ අර්ෂාඩ් නදීම්ට මීටර් 80.29ක දුරක් වාර්තා කරමින් මෙහිදී හිමිවූයේ සිව්වන ස්ථානයයි.
මෙම තරග වාරය තුළ වැඩිම දුරක් හෙල්ලය විසි කළ ක්‍රීඩකයා ලෙස පෙරමුණේ පසුවන්නේ රුමේෂ් පතිරගේයි. හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා අවසන් ශූරතාවලියේ ජයග්‍රහණයද හිමිකරගත් ඔහු, මෙවර තරග වාරයේදී මීටර් 92.62ක සිය පෞද්ගලික හොඳම වාර්තාවද පිහිටුවා තිබෙයි. ආසියාවට ලෝක මට්ටමේ රන් පදක්කම් බලාපොරොත්තුවෙන් පසුවන මලල ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට ලක්වන තරග ඉසව්වක් ලෙස හෙල්ල විසිකිරීම හැඳින්විය හැකියි. විශේෂයෙන්ම ඉන්දියාව, පාකිස්තානය සහ දැන් ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල් මෙම ඉසව්වෙන් සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙයි. ඔලිම්පික් හෝ වෙනත් ප්‍රධාන මලල ක්‍රීඩා තරගාවලිවලදී දකුණු ආසියානු රටවලට රන් පදක්කම් දිනාගැනීමේ අවස්ථා විරළ වුවත්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔවුන් සුවිශේෂී දස්කම් දක්වා තිබේ. 2021 වසර දක්වා කල් ගිය ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී ඉන්දියාවේ නීරජ් චොප්රා රන් පදක්කම දිනාගත් අතර, මීට වසර දෙකකට පෙර පැවති පැරිස් ඔලිම්පික් උලෙළේදී පාකිස්තානයේ අර්ෂාඩ් නදීම් රන් පදක්කම හිමිකර ගෙන ඇත.
හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මෑත කාලයේ මෙවැනි සාර්ථකත්වයක් අත්කර ගත්තද, සමස්තයක් ලෙස ඔලිම්පික් ඉතිහාසය තුළ ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව දක්වා ඇත්තේ අවම දායකත්වයකි. ශ්‍රී ලංකාව මේ දක්වා කිසිදු ඔලිම්පික් රන් පදක්කමක් හිමිකරගෙන නැති නමුත්, 2028 ලොස් ඇන්ජලීස් සහ 2032 ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය රුමේෂ්ට දස්කම් දක්වන්නට අවස්ථාවක් සලසා ඇත.
