pope-urges-action-against-sexual-abuse-by-priests

පූජකවරුන් අතින් සිදු වන ලිංගික අපයෝජනවලට එරෙහිව සටන් කිරීම නතර නොකර ඉදිරියටම පවත්වාගෙන යන ලෙස ලියෝ XIV පාප්වහන්සේ ප්‍රංශයේ රෝමානු කතෝලික බිෂොප්වරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. දශක දෙකකට ආසන්න කාලයකට පසු ප්‍රංශය වෙත සිදු කළ ප්‍රථම නිල පාප්වහන්සේගේ සංචාරය අතරතුර ලූර්දු හි පැවැති පෞද්ගලික හමුවකදී උන්වහන්සේ මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ මෑත කාලයේදී සභාවට එරෙහිව එල්ල වූ බරපතල චෝදනා හමුවේය.




වසර 70ක කාලයක් පුරා ප්‍රංශය තුළ කතෝලික පූජකවරුන් හා සභා සාමාජිකයන් අතින් බාලවයස්කරුවන් 330,000ක් පමණ අපයෝජනයට ලක්ව ඇති බවට 2021 වසරේ පැවැති පරීක්ෂණයකින් හෙළි වී තිබුණි. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තේරී පත් වූ ප්‍රථම පාප්වහන්සේ වන ලියෝ පාප්වහන්සේ, මෙලෙස ලිංගික අපයෝජනයට ලක්වූවන් හත්දෙනෙකු පෞද්ගලිකව හමුවී සාකච්ඡා කිරීමටද පියවර ගත්හ. මෙම හමුවට එක්වූ වයස අවුරුදු 26ක් වන දොමිතියෙල් බාර්දුල් නමැති තරුණිය සඳහන් කළේ පාප්වහන්සේ තමන්ට සවන්දීමට සූදානම් වීම ඉතා අගනා ක්‍රියාවක් බවයි. එමෙන්ම, නොත්‍රෙ දාම් ද බෙතාරම් නමැති නේවාසික පාසලේ ඉගෙනුම ලැබූ, ශාරීරික හා ලිංගික වදහිංසාවලට ලක්වූ හිටපු සිසුවෙකුද මෙම හමුව සඳහා එක්ව සිටියේය.

ලූර්දු යනු වසරකට මිලියන තුනකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණෙන ලොව ප්‍රධානතම කතෝලික පුදබිමකි. පූජනීය ස්ථානය අසල පැවැති දේව මෙහෙයේදී පාප්වහන්සේ පැමිණ සිටි විශාල ජනකායට පැන් ඉසිමින් ආශීර්වාද කළහ. ලූර්දු හි පැවැති වැඩසටහන්වලට පසුව, පැරිස් නුවර චැම්ප්ස්-එලිසීස් වීදිය ඔස්සේ ගමන් කළ උන්වහන්සේට ආශීර්වාද ලබාගැනීම සඳහා ලක්ෂ අටක පමණ විශාල ජනකායක් එක්රොක් වී සිටියහ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ප්‍රංශයේ දේශපාලන වාතාවරණය වෙනස් වෙමින් පවතින පසුබිමක, රටට නුවණැති සහ යහපත් නායකයන් ලැබෙවායි පාප්වහන්සේ කන්‍යා මරියතුමියගෙන් යැදුම් කළහ. තවද, මානව හිමිකම් සුරැකීම සහ ලෝක සාමය උදෙසා ප්‍රංශයේ හඬ පෙරමුණට ගැනීමට හැකියාව ලැබෙන ලෙසද උන්වහන්සේ ප්‍රාර්ථනා කළහ. XVI වන බෙනඩික්ට් සහ II වන ජෝන් පෝල් යන පාප්වහන්සේලාට පසුව ලූර්දු හි සංචාරය කළ තුන්වන පාප්වහන්සේ වන්නේ ලියෝ XIV පාප්වහන්සේය.