සංගීත ශිල්පීන් සිය කර්තෘභාග වෙනුවෙන් මුදල් අය කරන්නට යන අලුත් ක්‍රම සම්බන්ධ මේ දිනවල ආන්දෝලනයක් ඇති කර තිබෙන සංවාදය හමුවේ ප්‍රවීණ ගායක හා සංගීත නිර්මාණ ශිල්පී රූකාන්ත ගුණතිලක දක්වා ඇති අදහස් විවිධ ලෙස කථාබහට ලක්ව තිබෙ. ඔහු පවසන කතාව ඇතැමෙකු පිළිගන්නා අතර තවත් අය විවේචනය කර තිබෙයි.
පහත පළවන්නේ මාධ්‍ය හමුවකදී ඔහු දැක්වූ සම්පූර්ණ අදහස් මාලාවයි."'සුවඳ දැනී' ගීතය ඕනෑම කෙනෙකුට ගායනා කරන්න, මට අයිති නිසා ඕනෑම කෙනෙකුට ගායනා කරන්න මට කමක් නැහැ" කියලා මට කියන්න බැහැ. ඒ ගීතය මගේ නෙමෙයි. ඉතින් මෙතැනදී මට පැතිකඩ දෙකක් ගැන කතා කරන්න පුළුවන්. මුලින්ම මම ආමන්ත්‍රණය කරන්නම්, මම සංගීත නිර්මාණකරුවෙක් හැටියට අන් සියලු දේම අමතක කරලා. මම ගායකයෙක් නෙමෙයි, මම වෙන කිසිම රැකියාවක් කරන කෙනෙකුත් නෙමෙයි, මට වෙන දෙයක් කරන්නත් බැහැ, මම ගීත රචකයෙක් පමණයි, මට වෙන කිසිම රැකියාවක් නැහැ කියන තැන ඉඳන් මම ඒ පාවහන් යුවළ පැළඳගෙන කතා කළොත්, මම හිතනවා මම ඉතාම අසරණ පුද්ගලයෙක් කියලා.
ඒ කියන්නේ මෙතෙක් කල් මම ලියලා තියෙන ගීත මම ගායනා කළේ නැත්නම්, අපි කල්පිතයක් හැටියට හිතමු මම ඒවා කාට හෝ දුන්නා කියලා. එහෙම වුණොත් මට එදිනෙදා ලැබුණු කීයක් හරි අරගෙන පැත්තකට වෙලා ඉන්නයි වෙන්නේ. කවුරුහරි ඇහුවොත්, දන්නවා නම් දන්නවා, නැත්නම් "ඒක මම තමයි ලිව්වේ" කියලා කොනකට වෙලා ඉඳගෙන පුවත්පතකට කියන කෙනෙක් පමණයි මම. එහෙම නැත්නම් කවුරුහරි වැරදියට කිව්වොත් "නැහැ නැහැ, එයා නෙමෙයි ඒක මමයි ලිව්වේ" කියලා පැත්තකින් ඉඳන් කියන කෙනෙක් පමණයි මම. මට වෙනත් කිසිම විදිහකින් නැවත සත පහක්වත් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ගීත රචකයෙකුගේ වර්තමාන තත්ත්වය. ඒක වෙනස් කරන්න තමයි මේ අඩියෙන් අඩිය තියාගෙන අපි ඉදිරිපත් වෙන්නේ. ඒ අයිතිය ලබා දීලා, ගීත රචකයා කියන ඒ වටිනා පුද්ගලයාටත් මේ රටේ සාධාරණයක් ඉෂ්ට වෙලා, එයාගේ ජීවිතයට පිටුවහලක් වෙන්නයි මේ උත්සාහ කරන්නේ.
අප හැමෝටම ජීවත් වීමට අයිතියක් තියෙනවා. ජීවත් වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. කන්න, බොන්න, අඳින්න, තමන්ට දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට සලකන්න, කුලියක් ගෙවන්න තියෙනවා නම් ඒවා ගෙවන්න, තැනකින් තැනකට යන්න බස් එකේ හෝ කුලී රථයක යන්න, ඉන්ධන ටික ගහගන්න වගේ මේ හැම දේකටම මුදල් අවශ්‍යයි. කොටින්ම කියනවා නම්, මට පයින් යන්නවත් අතේ මුදල් නොතිබුණු කාලයක් තිබුණා කියලා මට හොඳට මතකයි. මම ගීත රචකයෙක් හෝ සංගීත අධ්‍යක්ෂවරයෙක් පමණක් වුණා නම්, මම කරලා තියෙන නිර්මාණ ප්‍රමාණය අනුව මට ලොකු ආදායමක් නැහැ. මම ගීත තුන්සියයක්, පන්සියයක් අතර ප්‍රමාණයක් නිර්මාණය කරලා ඇති.
රෝහණ වීරසිංහ මහත්මයා නම් මම හිතනවා ගීත හය-හත්දාහක්, දහදාහක් වගේ ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරලා ඇති. ඒත් එතුමාටත් මේ නීතිය යම්කිසි දුරක් ආවට පසුව තමයි දැන් මේ ආදායමක් ලැබෙන්න පටන් ගත්තේ. අපි ඔක්කොටම එහෙමයි. එතකොට සංගීත අධ්‍යක්ෂවරයෙක් හෝ නිර්මාණකරුවෙක් හැටියට මට එහෙම වෙලා තිබුණා නම්, මම හදලා තියෙන ගීත ප්‍රමාණය අනුව ඉතාම සුළු මුදලක් තමයි දැන් ලැබෙන්න පටන් අරන් තියෙන්නේ. මාසෙකට සැරයක් චෙක් එකක් එනවා. මම ඉතාම සතුටින් බලනවා "ආ, මට මේ සැරේ මෙච්චරක් ඇවිල්ලා තියෙනවා" කියලා. ඉතාම සුළු මුදලක් තමයි ලැබෙන්නේ. ඒක තමයි ඇත්ත ඇති සැටිය.
එතකොට ගායනය කියන්නේ සමාජයේ ඉදිරිපස ඉඳගෙන පේන කෙනා. ඕනෑම සංගීත ප්‍රසංගයක් වේවා, ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ වේවා, දැන් තියෙන සමාජ මාධ්‍යවල වේවා, ඉස්සෙල්ලාම තියෙන්නේ "අහවලාගේ සිංදුවක් ඇවිල්ලා තියෙනවා" කියන එකයි. ඒක ලස්සන වුණත්, හොඳ නැති වුණත් කතා වෙන්නේ ඒ ගායකයා ගැන තමයි. සංගීත සමාජය ඇතුළේ ඉන්න අය "අහවලාගේ ලස්සන නිර්මාණයක් තියෙනවා නේද" කියලා කතා වුණාට, සාමාන්‍ය සමාජයේ කතාව තමයි "මේ ගායකයාගේ හෝ ගායිකාවගේ ලස්සන සිංදුවක් තියෙනවා" කියන එක. ඒ ඇරෙන්න "මෙයා තමයි ලියලා තියෙන්නේ, මෙයා තමයි සංගීතවත් කරලා තියෙන්නේ" කියලා කියන්නේ ඉතාම අල්ප දෙනයි.
ඉස්සර කැසට් එකක් හෝ තැටියක් ආවාම සමහර අය බලනවා කවුද මේක ලියලා තියෙන්නේ, කවුද සංගීතවත් කරලා තියෙන්නේ කියලා. එහෙම පුරුද්දක් හැටියට කරපු අය ඉන්නවා, තාමත් කරන අය ඉන්නවා. නමුත් බොහෝ දෙනෙක් එහෙම නැහැ. මට මතකයි මගේ එක්තරා කැසට් පටයක් ආපු වෙලාවේ, මගේ හොඳම කිට්ටු මිතුරෙක් කිව්වා රත්නපුරේ අපේ එක්තරා වෙළඳ ව්‍යාපාරිකයෙක් ඇවිල්ලා රූකාන්තගේ අලුත් කැසට් එක ඉල්ලුවාලු. මට ආදරේ කරන ඒ මනුස්සයා කැසට් එක අරගෙන, ඒකෙ තිබුණු ලොකු කවරය (පිටු හතක විතර කවරයක්) කඩලා විසි කරලා, "මට මේක විතරයි ඕන" කියලා කැසට් එක විතරක් අරන් ගියාලු. එහෙම අයත් ඉන්නවා.
ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක පුද්ගලයන්ගේ සහ චරිතවල හැටි. නමුත් ඒවා ගැන සොයා බලන අයත් වෙනම ඉන්නවා. මම ඒ අය ගැනත්, ගීත අහන අය ගැනත් සතුටු වෙනවා. නමුත් මම මෙතැනදී ආමන්ත්‍රණය කරන්න කැමතියි, අපේ ආදරණීය ගායක ගායිකාවන්ට විතරක් නෙමෙයි, මුළු සමාජයටම. ශ්‍රී ලාංකික සහ ලංකාවෙන් පිට සිටින මගේ භාෂාව තේරෙන සියලුම සහෝදර සහෝදරියන්ට මම කියනවා, ගීත නිර්මාණය කරන අයටත් ආදරය කරන්න පුරුදු වෙන්න කියලා. මොකද ගීතයක් නිර්මාණය වෙනවා කියන්නේ හරිම පුදුම දෙයක්. ඒක දෙවියන් වහන්සේගෙන්ම ලැබෙන්න ඕන දෙයක්. දැන් හිතාගන්නකො, මගේ ගීතයක් නැතුව මම මේ අවස්ථාවේ ගන්නවා මා ළඟ ඉන්න මේ සහෝදර රෝහණයන්ගේ ගීතයක්. එතකොට එතුමා කවදාහරි මේ ගීතය හදන්න ඇත්තේ, අජන්ත රණසිංහ මහත්මයාගෙන් වචන ටික හම්බුණාමයි. ඉතින් එකපාරටම ඔහේ අතගාලා "සුවඳ දැනී" කියලා ගීතයක් හැදෙන්නේ නැහැ. එහෙම කරන්න බැහැ.
ඔන්න ඔහොම මහන්සි වෙලා හදලා, ඒ ගීතය මුලින්ම ගායනා කරන්නේ එතුමා. වර්තමානයේ තාක්ෂණය තියෙන නිසා ටෙලිෆෝන් එකකට හරි ටේප් රෙකෝඩරයකට හරි ඉස්සෙල්ලාම ගායනා කරන්නේ නිර්මාණකරුවා. එතුමාම ලිව්වා නම්, ලිව්වෙත් එයා, ගායනා කළෙත් එයා. එතකොට ඒ දෙකම ඉස්සෙල්ලාම අයිති එයාට. ඊට පසුව කාටහරි "අනේ ඒ සිංදුව මට දෙන්න" එහෙම නැත්නම් "මටත් සිංදුවක් හදලා දෙන්න" කියලා කිව්වත්, මුල්ම අයිතිකරු ඒ හදපු කෙනායි. ඒ හැකියාව උඩින් එන්නේ, දෙවියන් වහන්සේගෙන් එන්නේ. ඒක හැමෝටම කරන්න බැහැ. හරියට මිනිස්සු "ෂා" කියලා කියන විදිහේ චිත්‍රයක් අඳින්න හැමෝටම බැහැ වගේ. "ෂා" කියලා කටින් කියවෙන්න තරම් සුන්දර නිර්මාණයක් තමයි සාර්ථක නිර්මාණයක් කියලා මම කියන්නේ.
මොකද ඒකට හරි නිර්ණායකයක් දෙන්න බැහැ. මම සවුත්තුයි කිව්වොත්, තව කෙනෙකුට කියන්න පුළුවන් "නැහැ මේක හොඳයිනේ" කියලා. ඒක හින්දා බොහෝ දෙනෙක් හොඳයි කියන ගීතය තමයි හොඳ නිර්මාණයක් වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම පටිගත වෙන්නේ නිර්මාණකරුවාගේ කටහඬින්. ඊට පස්සේ ඉල්ලන කෙනාගේ (ගායකයාගේ හෝ ගායිකාවගේ) ඕනෑකමට තාවකාලිකව යම්කිසි මුදලකට ඒක අපි දෙනවා එයාලට ගායනා කරන්න. එයා ඒක ගායනා කරලා කෝටියක්, දෙකෝටියක් හොයනවා. ගායනය සාර්ථක නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. සාර්ථක නම් ඕනෑ තරම් මුදල් උපයන්න පුළුවන්.
නමුත් ඒ නිර්මාණය යම් යම් තැන්වල, වේදිකාවල ගායනා කරනකොට, අතීතය වෙනස් වෙලා වර්තමානය වෙනස් වෙලා මුළු ලෝකයම වෙනස් වෙලා යනකොට මේ නීති එකතු වෙනවා. සමහර නීති හැලෙනවා, සමහර නීති එකතු වෙනවා. බොහෝවිට වෙන්නේ නීති එකතු වෙන එක. රට රටවලට ඇතුල් වෙන නීති, පිටවෙන නීති වෙනස් වෙනවා වගේ මිනිසුන්ගේ අවශ්‍යතාවන් වැඩි වෙනවා. ජීවන ක්‍රමය වෙනස් වෙනවා. ඒ අනුව මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ, ගීත රචකයෙක් වන මටත් කීයක් හරි එන්න ඕන කියලා මම හිතනවා. ඒ ගීතයෙන් ප්‍රයෝජනය ගන්නේ කවුරු වුණත්, මම මේ ගායක මහත්මයාට කියනවා නෙමෙයි. ගායක මහත්මයා කොහේ හරි ගිහිල්ලා ගායනා කළාම "අනේ උඹේ සාක්කුවෙන් මට දීපන්" කියලා මම ඉල්ලනවා නෙමෙයි මේ.
නමුත් එයා ගිහිල්ලා කොහේ හරි වේදිකාවක ගායනා කරනවා නම්, ඒකට ක්‍රමයක් හදලා තියෙනවා. බටහිර රටවල මම දැකලා තියෙන, අත්හදා බලලා තියෙන විදිහට, ඒක සංවිධානය කරන මහත්මයාට පුළුවන් නම් පිට්ටනියට ගෙවන්න, පොලිසියට ගෙවන්න, වටේට ටකරන් ගහන්න ගෙවන්න, ආරක්ෂක අංශවලට ගෙවන්න, ආලෝකකරණය කරන අයට සහ සංගීත කණ්ඩායමට ගෙවන්න, ඒකෙන් යම්කිසි සුළු කොටසක් වෙන් කරලා "මෙන්න මේක අර ගොල්ලන්ට දෙන්න ඕන, මොකද මේවා හදපු මිනිස්සු ගෙවල්වල ඉන්නවා" කියලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක විතරයි වෙන්න ඕනේ.
ඒක මම හිතනවා ඉතාම සාධාරණයි, සාර්ථකයි. ඒක සිද්ධ වෙන්නම ඕන දෙයක්. ඉතින් මට කිසිම කෙනෙකුට කියන්න බැහැ "මගේ ආදරණීය සහෝදරවරුනි, සුවඳ දැනී ගීතය ඕනෙ කෙනෙකුට කියන්න, මට අයිති නිසා ඕනෙ කෙනෙකුට ගායනා කරන්න මට කමක් නෑ" කියලා. ඒ ගීතය මගේ නෙමෙයි. ඒ ගීතයේ අයිතිකරු මගේ වම් පැත්තේ මෙතැන දැන් ඉන්නවා. ඒ වගේම ඒක රචනා කරපු අජන්ත රණසිංහයන්ගේ වගකිවයුතු මුණුබුරාත් මෙතැන ඉන්නවා. ඒක මට අයිති නැහැ. මට එහෙම කියන්න බැහැ. ඒ වගේම මට අයිති ගීතයකුත් මට ඇරෙන්න වෙන කාටවත් "මම ගායනා කරලා තියෙන ඕනෑම ගීතයක් ගායනා කරන්න" කියලා ගායකයෙකුට කියන්න බැහැ. එයාගේ නිර්මාණයක් නම් එයාට කියන්න පුළුවන්. ඉතින් මම ඒකත් ආදරයෙන් මතක් කරනවා.
මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට, මගේ රසික රසිකාවියන්ට සහ මේ බුද්ධිමත් ශ්‍රී ලාංකික රසිකයන්ට මම කියනවා, නිකන් රැවටෙන්න එපා කියලා. මේ කලා ලෝකේ මහන්සි වෙලා වැඩ කරන අය තමයි මේ ඉන්නේ. ඒගොල්ලන්ට සාධාරණය ඉෂ්ට වෙන විදිහට අපි ඉස්සරහට යමු. මේකෙන් මේ රටට, ලෝකේ පිටරටකින් කීයක් හරි එනවා නම්, ඒක මේ රටට එන ආදායමක්. රජයටත් ඒකෙන් බදු (taxes) ලැබෙනවා. මේක ඉතාම හොඳ වැඩක්. ඒකට අපි ඔක්කොම එකතු වෙලා අත දෙමු කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තූතියි, සැමට සුබසිද්ධියක් වේවා!
