roads-in-colombo-closed-due-to-indian-defense-ministers-visit

ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට සමගාමීව කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රධාන මාර්ගයන්හි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කොළඹ රථවාහන කොට්ඨාසය පියවර ගෙන තිබේ. 2026 සැප්තැම්බර් 08 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වෙන මෙම සංචාරය අතරතුර ප්‍රභූ රථ පෙළ ගමන් ගන්නා මාර්ගයන්හි රථවාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට කටයුතු යොදා ඇත.




සංචාරයේ පළමු දිනය වන සැප්තැම්බර් 08 වන දින පස්වරු 1:30 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කොළඹ අධිවේගී මාර්ගය, වරාය පරිශ්‍රය සහ එන්.එස්.ඒ. වටරවුම හරහා ටාජ් සමුද්‍රා හෝටලය දක්වා ප්‍රභූවරයා ගමන් කිරීමට නියමිතය. එදින රාත්‍රී 8:00 සිට 9:00 දක්වා කාලය තුළ හෝටලයේ සිට ඉන්දියන් හවුස් දක්වා ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය, පුස්තකාල වටරවුම, ග්ලාස් හවුස්, නන්දා මෝටර්ස් සහ නිදහස් වටරවුම ඔස්සේ මාර්ග සීමා කෙරෙන අතර, ආපසු පැමිණීමේදී ජේ. ඕ. සී. හන්දිය, මල් පාර, ලිබර්ටි වටරවුම සහ මයිකල් හන්දිය හරහා රථවාහන ගමනාගමනය පාලනය කරනු ලබයි.

සැප්තැම්බර් 09 වන දින පෙරවරු 9:50 සිට 11:25 දක්වා කාලයේදී ගාලු මැද පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමට සහ ආපසු පැමිණීමට නියමිතව තිබේ. පස්වරු 2:00 ට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පිහිටි ඉන්දියන් සාමසාධක හමුදා ස්මාරකය වෙත යාම සඳහා ගාලු පාර, ධර්මපාල මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝටන් පෙදෙස, ඩී.එස්. හන්දිය සහ ශ්‍රී ජයවර්ධනපුර මාවත යන මාර්ගයන් භාවිත කෙරෙනු ඇත.




අනතුරුව පස්වරු 2:45 සිට 3:45 දක්වා ජපාන මිත්‍රත්ව මාවත, මඟ නැගුම හන්දිය සහ අකුරගොඩ වටරවුම ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශය වෙතත්, පස්වරු 4:00 සිට 4:30 දක්වා ජයන්තිපුර හන්දිය හරහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙතත් ප්‍රභූ රථ පෙළ ළඟා වීමට නියමිතය. පස්වරු 4:35 සිට 5:00 දක්වා පොල්දූව, බුත්ගමුව, වැලිකඩ, ඩී.එස්. සේනානායක හන්දිය සහ ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණෙන අතර, පස්වරු 5:30 ට පෙරහැර මාවත සහ ගාලු මුවදොර වටරවුම හරහා යළි ටාජ් සමුද්‍රා හෝටලය වෙත ගමන් කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම සැප්තැම්බර් 09 වන දින රාත්‍රී 7:00 ට සහ සෙප්ටැම්බර් 10 වන දින නුවරඑළිය සංචාරය සඳහා පෙරවරු 9:00 ට ටාජ් සමුද්‍රා හෝටලයේ සිට වරාය පරිශ්‍රයේ හෙලිපෑඩ් දක්වා ගාලු මුවදොර මධ්‍යම මාර්ගය, බල දක්ෂ මාවත සහ එන්.එස්.ඒ. වටරවුම හරහා ගමනාගමන සීමා පැනවෙන අතර, මෙම කාලසීමාවන්හිදී ඇති විය හැකි රථවාහන තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.