senior-dig-ajith-rohana-retires-after-38-years-of-police-service

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝ වසර 38ක සේවා කාලයක් සම්පූර්ණ කළ වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ ආචාර්ය අජිත් රෝහණ මහතා අද (08) නිල වශයෙන් විශ්‍රාම ලැබීය. ඒ මහතාගේ විශ්‍රාම යෑම නිමිත්තෙන් කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේදී උත්තමාචාර පොලිස් පෙළපාලියක් ද සංවිධානය කර තිබිණි.




ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ලාබාලතම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වාර්තා අතරට එක්වූ ඔහු, මහජනතාවගේ දැඩි ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (LL.B) උපාධිය ලබා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී ඇති ඒ මහතා, පොදු මහජන සේවය උදෙසා දැක්වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් 2020 වසරේදී සම්මානනීය ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබීය.

කොවිඩ්-19 වසංගත සමයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරමින් සුවිශේෂී මාධ්‍ය සහ සන්නිවේදන මෙහෙවරක් ඉටුකළ අජිත් රෝහණ මහතා, තමා සතු වෘත්තීය නිපුණතාව මෙන්ම සරල හා මිත්‍රශීලී ගුණාංග හේතුවෙන් රටවැසියන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. සිය සේවා කාලය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට අමතරව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද, දකුණ, නැගෙනහිර සහ වයඹ යන පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ද තවත් වගකිවයුතු තනතුරු රැසක් හෙබවීමට හෙතෙම සමත් විය.




අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ උපත ලැබූ අජිත් රෝහණ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසල් අවධියේදී ප්‍රමුඛ පෙළේ දක්ෂ කථිකයෙකු ලෙස කැපී පෙනුණු ඔහු, පසුව පොලිස් සේවයට එක්වෙමින් සිය වෘත්තීය ජීවිතයේ ඉහළම තලයන් වෙත ළඟා විය.

senior-dig-ajith-rohana-retires-after-38-years-of-police-service