2027 වසරේ විශ්ව රූ රැජින (Miss Universe 2027) තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ ඇති හැකියාව පිළිබඳව මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ. විශ්ව රූ රැජින සංවිධානයේ ගෝලීය හවුල්කාරිත්ව පිළිබඳ උප සභාපතිනිය මෙන්ම පිලිපීන-අමෙරිකානු ව්‍යවසායිකාවක සහ සම රැකවරණ පිළිබඳ විශේෂඥවරියක වන ඔලිවියා කයිඩෝ-කෝ (Olivia Quido-Co) මහත්මිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ඇති අතර, මෙවැනි වැඩසටහනක් හරහා ශ්‍රී ලංකාවට අත්කර ගත හැකි ප්‍රතිලාභ සහ වටිනාකම් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බලා ඇත.
මෙම සුවිශේෂී හමුව සංවිධානය කරනු ලැබුවේ 2020 ලෝක රූ රැජින (Mrs World 2020) කිරුළ දිනූ කැරොලයින් ජූරි මහත්මිය විසිනි. විශ්ව රූ රැජින වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛතම වේදිකාවක් මගින් ශ්‍රී ලංකාවට ඉහළ ගෝලීය ආකර්ෂණයක් ලබා දිය හැකි බව පෙන්වා දෙන ඇය, එමගින් විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත් සංචාරක, ආගන්තුක සත්කාර, ගුවන් සේවා, විලාසිතා, උත්සව සංවිධාන, සිල්ලර වෙළඳාම සහ ඊට සබැඳි ක්ෂේත්‍ර ගණනාවක නව ආර්ථික අවස්ථා උත්පාදනය කිරීමටත් මග පෑදෙන බව ප්‍රකාශ කළාය.
තවද, මෙවැනි උත්සවයක් හරහා අතිමහත් ජාත්‍යන්තර මාධ්‍ය ආවරණයක් මෙන්ම සුවිශේෂී ඩිජිටල් ප්‍රචාරණයක් හිමිවන බැවින්, ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ලොව පුරා ප්‍රේක්ෂකයින් හමුවේ සඵලදායී ලෙස ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසෙන බවද කැරොලයින් ජූරි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. මේ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා මට්ටමේ පවතින අතර, මුළු මහත් ලෝකයේම අවධානය දිනාගන්නා ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත උත්සවයකට සත්කාරකත්වය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවකින් පසුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

