හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් හෙට (17) දිනයේදී එකම වේදිකාවකදී මුණගැසීමට නියමිතව තිබේ. එක්සත් ජාතික පක්ෂ නායකවරයා මෙන්ම සමගි ජන බලවේගයේ නායකවරයා ද මෙලෙස එක් මූලික පරිශ්‍රයකට රැස්වන්නේ විශේෂ විද්වත් සාකච්ඡාවක ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වෙමිනි.
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය (DSSPA Alumni Club) විසින් මුල් වරට සංවිධානය කරනු ලබන "J.R. ආණ්ඩුකරණය සහ මැද මාවත" නමැති සංවාදශීලී වැඩසටහන වෙනුවෙන් මෙම හමුව සිදුවේ. කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මෙම විද්වත් කතිකාව හෙට පස්වරු 02.00 ට ආරම්භ වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන දේශපාලන ප්‍රවාහ ද්විත්වයම නියෝජනය කරමින් ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතව ඇත.
පසුගියදා පැවති එජාප සංවත්සරයේදී රනිල් සජිත් අතර විරසකය පැහැදිලිව පෙනුණ පසුබිමක එම කතා මැද මෙම සාකච්ඡාව පැවැත්වේ. එජාප සංවත්සරයට සජිත් ප්‍රේමදාස සහභාගි වූයේ නැත. රනිල් වික්‍රමසිංහ පෞද්ගලිකවම සජිත් ප්‍රේමදාසට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ‘සිරිකොතට’ ආරාධනා කළ බවට එජාපය මාධ්‍ය දැනුවත් කළ නමුත් ඔහු පැමිණීමෙන් වැළකී සිටියේය.
