කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වෙළඳසැලකට මුවා වී ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය භූගත රාත්‍රි සමාජ ශාලාවක් වටලා එහි තිබූ මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් පසුගිය 21 වනදා සමත් වී තිබේ. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පිටතට මුරුක්කු ඇතුළු කෙටි ආහාර සහ බීම වර්ග අලෙවි කරන ස්ථානයක් ලෙස පෙනෙන සේ සකසා තිබූ මෙම ස්ථානය තුළ අතිශය සූක්ෂම ලෙස මෙම භූගත රාත්‍රි සමාජ ශාලාව නිර්මාණය කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය. අලෙවියට තබා තිබූ මුරුක්කු පැකට් සහිත රාක්කයක් ඉවත් කිරීමෙන් පසුව එම පරිශ්‍රයට ඇතුළු වන රහසිගත ස්ථානය සහ සමාජ ශාලාව සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.
නීති විරෝධී ලෙස විදේශීය මත්පැන් අලෙවි කර ඇති මෙම ස්ථානයට දිනපතාම පැමිණෙන පාරිභෝගිකයන් පිරිසක් සිට ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් ද සුරාබදු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.
කිසිදු රජයේ බලපත්‍රයක් හෝ පූර්ව අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති මෙම රාත්‍රි සමාජ ශාලාවට සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු යොදමින් සිටියි.
