paper-corporation-chairmans-driver-goes-missing-along-with-cab

රාජ්‍ය කඩදාසි සංස්ථාවේ සභාපතිවරයා කැඳවාගෙන ඒම සඳහා පිටත්ව ගිය ඔහුගේ නිල රියැදුරු එම සභාපතිවරයාට අයත් කැබ් රථය ද සමඟ අතුරුදහන් වී ඇති බවට වැල්ලවත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.




කොළඹ 06, ස්ටැෆර්ඩ් පාරේ පිහිටි සංස්ථා ප්‍රධාන කාර්යාලයේ සිට කඩවත ප්‍රදේශයේ පිහිටි සභාපතිවරයාගේ නිවස වෙත අදාළ රියැදුරු ඉකුත් 21 වැනිදා පිටත්ව ගොස් ඇත්තේ සභාපතිවරයා කාර්යාලය වෙත රැගෙන ඒමේ අරමුණිනි. කෙසේ වෙතත්, නියමිත වේලාවට රථය නිවස වෙත නොපැමිණීම හේතුවෙන් සභාපතිවරයා රියැදුරුගේ දුරකතනයට ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ විමසා ඇති අතර, එහිදී වාහනයේ ඉන්ධන කාන්දුවක් පවතින බව රියැදුරු විසින් සභාපතිවරයාට පවසා ඇත.

අනතුරුව කඩවත ප්‍රදේශයේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට රථය යොමු කරන ලෙස සභාපතිවරයා උපදෙස් දී ඇති අතර, රියැදුරු එම ස්ථානයට ගොස් පරීක්ෂා කරවාගෙන තිබේ. නමුත් අදාළ කැබ් රථයේ කිසිදු දෝෂයක් නොමැති බව එහි සිටි කාර්මිකයන් ප්‍රකාශ කළ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




එදින පස්වරු 4.00 වන තෙක්ම රියැදුරු නැවත කාර්යාලය වෙත පැමිණ නොමැති අතර, පසුව ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ බව පැවසෙයි. මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් කඩදාසි සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාර සමන් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා විසින් වැල්ලවත්ත පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ රාගම, කැන්දලියද්දපාලුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි රියැදුරෙකි.



සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී (CCTV) දර්ශන පරීක්ෂා කරමින් පැති කිහිපයක් ඔස්සේ වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වී. ගනේවත්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.