රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවැත්වූ සත්‍යග්‍රහයකදී සහ ඊට අදාළ නඩුව සම්බන්ධයෙන් පසුව සිදුකරන ලද ප්‍රකාශ හේතුවෙන් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යොමු කෙරුණු මෙම පැමිණිල්ල අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සැප්තැම්බර් 8 වනදා කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.
මෙහිදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන මහත්වරුන් හයදෙනා වෙත චෝදනා එල්ල වී ඇත. ජූලි 7 වනදා සිට 15 වනදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහයේදී මොවුන් විසින් සිදුකරන ලදැයි කියන ඇතැම් ප්‍රකාශ අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන ස්වරූපයක් ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබූ අතර, ඒ පිළිබඳ කරුණු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර තිබිණි.
මෙම ක්‍රියාවලිය සිදුවන්නේ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනතේ 10 වැනි වගන්තියට අනුකූලවය. එම වගන්තියට අනුව පළමු අවස්ථා අධිකරණයකින් යොමු කෙරෙන මෙවැනි පැමිණිල්ලක් සලකා බැලීමේ බලතල අභියාචනාධිකරණය සතු වන අතර, එහි ඇති ලේඛන සහ සාක්ෂි පරීක්ෂා කරමින් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු (prima facie case) තිබේදැයි අධිකරණය විසින් තීරණය කරනු ලබයි.
එලෙස නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් කරුණු පවතින බවට අභියාචනාධිකරණය තෘප්තිමත් වුවහොත්, මීළඟ පියවර ලෙස අදාළ පුද්ගලයන් වෙත 'රූල්' (Rule) එකක් එනම් චෝදනාවට පිළිතුරු දෙන ලෙස දන්වන නිල නිවේදනයක් නිකුත් කරනු ලැබේ. පනතේ සඳහන් ආකාරයට රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සනින් යුතු මෙම ලිඛිත චෝදනා පත්‍රිකාව අදාළ පුද්ගලයන් වෙත පෞද්ගලිකව භාරදී, චෝදනා විභාග කිරීම සඳහා දිනයක්ද නියම කළ යුතුය.
මෙම නඩු විභාගයේදී විත්තිකරුවන්ට සාධාරණ නඩු විධානයක අයිතිය හිමිවන අතර, නීතිපතිවරයා ඉදිරිපත් කරන සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට මෙන්ම තමන්ගේ පාර්ශ්වයෙන් දිවුරුම් ප්‍රකාශ හෝ වෙනත් සාක්ෂි ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමටද චෝදනා ලැබූවන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඉන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව තහවුරු වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අභියාචනාධිකරණය විසින් ගනු ලබන අතර, අභියාචනාධිකරණය ලබාදෙන එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමටද අදාළ පනතින් ඉඩකඩ සලසා ඇත.